මන්නාරම ද්‍රෝණියේ තෙල් ගවේෂණ කටයුතු කඩිනම් කෙරේ

මන්නාරම ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ගවේෂණ කටයුතු කලාප හතරක් ආශ්‍රිතව කඩිනමින් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී ඊයේ (18) අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එම ගවේෂණ කටයුතු සඳහා කැඳවා ඇති ආයෝජන ලංසු ජනවාරි මාසයේදී විවෘත කිරීමට නියමිත බවයි.මේ අතර, කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නළ මාර්ග පද්ධතිය ද නවීකරණය කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ ඉතිහාසය සැලකීමේදී මන්නාරම ද්‍රෝණිය විශේෂ වැදගත්කමක් ගනී. එම ප්‍රදේශයේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු පිළිබඳ ගවේෂණ කටයුතු ආරම්භ වී දශක කිහිපයක් ගත වී ඇත.1960 සිට 1984 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු ප්‍රදේශයේ භූගත ඛනිජ සම්පත් පිළිබඳ මූලික ගවේෂණ සිදුකර ඇති අතර, එම කාලය තුළ ගවේෂණ ළිං හතක් ද කැණ තිබේ. ඉන් අනතුරුව 2001 සහ 2005 වසරවලදී මන්නාරම ද්‍රෝණිය ආශ්‍රිතව නව භූ කම්පන දත්ත (Seismic Data) රැස්කිරීම මඟින් ගවේෂණ කටයුතු යළි ආරම්භ කෙරිණි.2007 වසරේදී ශ්‍රී ලංකාව පළමු වරට මුහුදුබඩ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව මන්නාරම ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 3000ක පමණ භූමි ප්‍රදේශයක් අයත් ගවේෂණ කලාපයක් ඉන්දියාවේ Cairn සමාගමේ අනුබද්ධිත Cairn Lanka සමාගමට ලබාදෙනු ලැබීය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ එම සමාගම අතර 2008 ජූලි 7 වැනිදා ගිවිසුමක් අත්සන් කෙරිණඑම සමාගම 2011 වසරේදී මන්නාරම මුහුදු ප්‍රදේශයේ ගවේෂණ ළිං තුනක් කැණීමෙන් ස්වාභාවික වායු නිධි දෙකක් හඳුනාගැනීමට සමත් විය. ඒවා ඩොරාඩෝ (Dorado) සහ බැරකුඩා (Barracuda) ලෙස නම් කෙරිණි.මෙම සොයාගැනීම් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ඛනිජ තෙල් ගවේෂණ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, මන්නාරම ද්‍රෝණිය තුළ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු නිපදවීමට අවශ්‍ය භූ විද්‍යාත්මක තත්ත්වයන් පවතින බවට සාක්ෂි සැපයීය. කෙසේ වෙතත්, එම නිධිවලින් වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම ආර්ථික වශයෙන් ලාභදායීද යන්න තහවුරු කිරීමට තවදුරටත් අධ්‍යයන හා පරීක්ෂණ අවශ්‍ය විය.පසුව අදාළ සමාගම 2016 වසරේදී එම ගවේෂණ කලාපය අත්හැර දැමූ අතර, එම වසරේ සිට 2020 දක්වා කාලය තුළ Total සහ Equinor ඇතුළු ජාත්‍යන්තර සමාගම් සමඟ ද ගවේෂණයට අදාළ අධ්‍යයන කටයුතු සිදුකර තිබේ.මෙම ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා 2021 වසරේදී ඛනිජ තෙල් සම්පත් පනත අංක 21 හඳුන්වා දෙනු ලැබූ අතර, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ද ස්ථාපිත කෙරිණි.මන්නාරම ද්‍රෝණියේ ගවේෂණ කටයුතු යළි සක්‍රීය කිරීමේ අරමුණින් 2025 මැයි මාසයේදී එහි ගවේෂණ කලාප හතරක් සඳහා ජාත්‍යන්තර ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමි විය. අනතුරුව 2026 අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා බලපත්‍ර වටය 2026 (Sri Lanka Licensing Round 2026) නිල වශයෙන් ආරම්භ කරන ලදීඑම වැඩසටහන යටතේ ඉදිරිපත් කර ඇති ගවේෂණ කලාප හතරේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 33,964කට ආසන්නය. එම කලාප මීටර් 100ත් 3000ත් අතර ගැඹුරකින් යුත් මුහුදු ප්‍රදේශවල පිහිටා ඇත.මන්නාරම ද්‍රෝණියේ පවතින ඩොරාඩෝ සහ බැරකුඩා ස්වාභාවික වායු නිධි දෙකෙහි සම්පත් ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුව ඝන අඩි බිලියන 839ක් පමණ වන බව ද වාර්තා වී තිබේ. එහෙත් එය තහවුරු කළ වාණිජ නිෂ්පාදන ප්‍රමාණයක් නොව, සම්භාවිතාව මත පදනම් වූ සම්පත් ඇස්තමේන්තුවකි.මේ අතර, 2027 අයවැය යෝජනා අනුව කොළොන්නාව සහ කොළඹ වරාය අතර නව ඉන්ධන නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 16,332ක ආයෝජනයක් අපේක්ෂා කර තිබේ. ඉන්ධන නෞකාවලින් තෙල් ගොඩබෑමට දැනට ගතවන පැය 96ක පමණ කාලය පැය 48ක් දක්වා අඩු කිරීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණකි. එය මාස 18ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂිතය.

 

කාලීන පුවත්