බන්දුලට සමු දීමේ කතාව

bandu

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙමින් පුරා වසර හැත්තෑ හයක් දෙස් විදෙස් නරඹන්නන් පිනවූ‘බන්දුල’ නමැති අලියා ඊයේ (23 වැනිදා) අලුයම මියගියේය.අඩි 9 ක් උසැති ‘බන්දුල’ මියයන විට 79 වැනි වියේ පසු විය.ජීවිතයේ සන්ධ්‍යා භාගයේ පසු වූ බන්දුල පසුහිය දා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමග අප්‍රාණිකව බිම ඇද වැටී තිබේ.ඒ සමඟම සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් ‘බන්දුල’ට ප්‍රතිකාර කරමින් බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් එය අසාර්ථක විය.1946 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑවේ වන පෙතක අතරමං ව සිටි සිටි මෙම අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් අල්ලා දෙහිවල සතුන් වත්තට භාරදී තිබේ. එවිට බන්දුලගේ වයස අවුරුදු තුනකි.

එවකට සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සමාරම්භක අධ්‍යක්ෂ මේජර් ඕබ්‍රි නීල් වයමන් මහතා ය. ඔහු එදා ඒ මහතා අලියා දරුවකු මෙන් ආදරයෙන් භාරගෙන තිබේ.පසුව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ පදවියට පත් ලීන් ද අල්විස් මහතා ද බන්දුල කෙරෙහි විශේෂ ආදරයක් දැක් වූ බව කියනු ලැබේ.එසේ පරම්පරා කිහිපයකට අයත් සත්වෝද්‍යාන කාර්ය මණ්ඩල හා බැඳී සිටි බන්දුල එවක සත්තු වත්තේ අතිශය ජනප්‍රිය ව තිබූ අලි නැටුම් වල දී ද විශේෂ දක්ෂතා දක්වා තිබේ.

bandu

ඒ අනුව තමන්ට සොබා දහමින් හිමි ව තිබූ නිදහස් දිවි පෙවෙත මුළුමනින් අහිමි කර ගනිමින් බන්දුල දිනපතා ලැබෙන ශාඛ ආහාර වෙනුවෙන් පමණක් මේ දක්වා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හිමි කර දී ඇති දෙස් විදෙස් ධන සම්භාරය මෙතෙකැයි කිව නොහැක.සතුන් යනු මිනිසාගේ ආහාර පාන සඳහා වත්,වස්ත්‍රාභරණ සඳහා වත් පරීක්ෂණ සඳහා වත් විනෝදාංශ සඳහා වත් නොව ඔවුන්ගේ ස්වාභාවික පැවැත්ම උදෙසා නිදහසේ ජීවත් විය යුතු කොටසක් බව තරයේම අවධාරණය කරන අප බන්දුලට සමු දෙමින් පවසනුයේ වන සතුන් මිනිසුන්ගේ සිර කරුවන් සහ මෙහෙකරුවන් කිරීමේ සොබා දම් යුක්ති ධර්මය කෙලෙසන ක්‍රියා වහාම නතර කළ යුතු බවකි.බන්දුල,ඔබට සදාකාලික සුවබර නින්දකට අපෙන් හෘදයාංගම සුබ පැතුම්!

දමයන්ති ගමගේ

සතුන්ටත් හිමි අපේ ලෝකය