‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතය ඇතුළත් Thank God චිත්‍රපටයට එරෙහිව විරෝධයක්

ශ්‍රී ලංකාවේ යොහානි ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගැන පහුගිය දවස්වල ඉන්දියාවේ ද නැවතත් විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. ඊට හේතු වුණේ ඇය එම ගීතය හින්දි බසින් ද ගායනා කිරීමයි. යොහානි මෙම හින්දි ගීතය ගායනා කළේ බොලිවුඩ් චිත්‍රපටයක් වෙනුවෙන් වීම විශේෂත්වයක්. Thank God නැමැති මෙම සිනමාපටය ඔක්තෝබර් 24 වැනි දින සිට ප්‍රදර්ශණය කිරීමට නියමිතව තිබෙනවා. මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, රාකුල් ප්‍රීත් වැනි නළු නිළියන්.

කෙසේ හෝ වේවා, මේ වනවිට වාර්තා වන්නේ Thank God චිත්‍රපටයට එරෙහිව ඉන්දියාව තුළ විශාල විරෝධතාවක් පැන නැගී ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ මෙම සිනමාපටය විසින් හින්දු දෙවිවරුන් සමච්චලයට ලක් කරනු ලබන බවට මතු වී ඇති චෝදනාවයි. විශේෂයෙන් අජේ දේව්ගන් රඟපාන චරිතය කේන්‍ද්‍ර කරගෙනයි මෙම විරෝධය මතු වී තිබෙන්නේ.

අජේ මෙම සිනමාපටයේ රඟපාන්නේ චිත්‍රගුප්ත නැමැති දෙවි කෙනෙකු හා සම්බන්ධ චරිතයක්. මිනිස් ලොව වැසියන් කරන හොඳ නරක පිලිබඳ වාර්තා තබා ගන්නේ චිත්‍රගුප්ත දෙවියන් බව හින්දු ආගමිකයන් විශ්වාස කරනවා. කෙසේ නමුත් අජේ රඟපාන චරිතය ඉදිරිපත් වන්නේ හාස්‍යජනක ආකාරයෙන් බවත්, ඒ හරහා චිත්‍රගුප්ත දෙවියන් අපහාසයට ලක් කෙරෙන බවත් ඇතැම් පාර්ශ්වවල අදහසයි. Thank God චිත්‍රපටයට එරෙහිව විරෝධයක් මතුව ඇත්තේ මේ නිසා බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. මෙවැනි විරොධතා මතු වීමට පටන් ගත්තේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් මාධ්‍ය වෙත නිකුත් වීමෙන් පසුව යි.

එරට ජාන්පූර් හි නීතිඥවරයකු චිත්‍රපටයට එරෙහිව අධිකරණය හමුවට පවා ගොස් ඇති බව සඳහන්. හිමාන්ෂු ශ්‍රීවස්තාවා නැමැති මෙම නීතිඥවරයා ද මෙම නඩුව පවරා ඇත්තේ Thank God චිත්‍රපටයෙන් හින්දු ආගමට අපහාසයක් සිදු කර ඇති බව පවසමින්. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර්, ප්‍රධාන නළුවන් වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙයට අමතරව විවිධ ආගමික සංවිධාන ද චිත්‍රපටයට එරෙහිව පොලිසිවලට ද පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. සමහර සංවිධාන ඉල්ලා ඇත්තේ චිත්‍රපටය තහනම් කරන ලෙසයි. එමෙන්ම සිනමාපටය නැරඹීමෙන් වලකින ලෙසත්, එය වර්ජනය කරන ලෙසත් ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ව්‍යාපාර ඉදිරියට යමින් ඇති බව වාර්තා වෙනවා.

Thank God චිත්‍රපටයට එරෙහිව මතුවන විරෝධය ඉන්දියාවෙන් පිටතට පවා පැතිරෙමින් ඇති බවයි පෙනෙන්නේ. කුවේට් හි වාරණ මණ්ඩලය මෙහි පූර්ව ප්‍රචාරක පටය පවා තහනම් කර ඇති බව සඳහන්. චිත්‍රපටය එහි ප්‍රදර්ශණය නොකිරීමට ඉඩ ඇති බවටත් අදහස් මතුව තිබුණා.

පසුගිය කාලයේ විවිධ හේතු මත තවත් ඉන්දියානු චිත්‍රපට කිහිපයකටම එරෙහිව සමාජ මාධ්‍ය තුළ විරෝධතා මතු වුණා. ආමීර් ඛාන් රඟපෑ ‘ලාල් සිං චද්දා’, රන්බීර් කපූර් සහ ආලියා භාත් රඟපාන ‘බ්‍රහ්මාස්ත්‍ර’, ආක්ෂේ කුමාර් රඟපාන ‘රක්‍ෂා බන්ධන්’ වැනි චිත්‍රපට ද වර්ජනය කරන ලෙස ඇතැම් පාර්ශ්ව ඉල්ලා සිටියා. මෙම සමහර චිත්‍රපට ආදායම් අතින් පාඩු ලබන්නට පවා මෙම විරෝධතා හේතු වූ බව පැවසුණා. Thank God චිත්‍රපටයත් ඇතැම් විට එවැනි ඉරණමකට මුහුණ දෙන්නට ඉඩ තිබෙනවා. සමහර විට එය සම්පූර්ණයෙන් තහනම් කරන්නටත් ඉඩ ඇති බව ඇතැම් සිනමා ලේඛකයන් පවසා තිබුණා.

නිහාල් පීරිස්

රසගඟුල