අනුරාධපුර පූජා නගරයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුමකට අදාළව රාජාංගනේ සද්ධාරතන හිමියෝ අද (18) අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා උන්වහන්සේ අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැඳවා තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබූ පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම විශේෂත්වයකි.අධිකරණ නියෝගය නිකුත් කර තිබුණේ ඊයේ (17) දිනයේදීය. ඒ අනුව, රාජාංගනේ සද්ධාරතන හිමියන් ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් අත්අඩංගුවට නොගැනීමට හේතු පැහැදිලි කිරීම සඳහා ලබන 26 වැනිදා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාට ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර තිබිණි.මෙම නියෝගය නිකුත් කර තිබුණේ ගැටුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් හත්දෙනකු වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. එම ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.මීට මුල් වූ සිදුවීම පසුගිය නොවැම්බර් 12 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සල් කලාපයේදී වාර්තා විය. එදින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් එහි සත්‍යග්‍රහයක් සහ මාරාන්තික උපවාසයක් පවත්වමින් සිටියහ.එම විරෝධතාව පැවති ස්ථානයට රාජාංගනේ සද්ධාරතන හිමියන් ඇතුළු පිරිසක් පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. අනතුරුව ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා වර්ධනය වී තිබූ අතර, එහිදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් සද්ධාරතන හිමියන් රෝහල්ගත කිරීමට ද පියවර ගෙන තිබිණි.සිද්ධිය පාලනය කිරීමට මැදිහත් වූ පොලීසිය විසින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අතරින් භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් පුද්ගලයන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.කෙසේ වෙතත්, පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂග්රාහීව කටයුතු කළ බවට රක්ෂිත බන්ධනාගාරගත පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ චෝදනා කර තිබිණි. එමෙන්ම ගැටුමට මුල් වූ බව කියන සද්ධාරතන හිමියන් ඇතුළු අනෙකුත් පිරිස අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ද ඔවුහු අධිකරණයේ අවධානය යොමු කළහ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.