එදාටත් වඩා අදට ගැලපෙන කොටි වලිගයේ කතාව

කොටි වලිගය අල්ල ගත්ත වගෙයි’ කියන පිරුළ ගැන අපි හැමෝම වගේ දන්නවා. කොටි වලිගය අල්ලා ගත්තා වගේ කියන්නේ පීඩාකාරී වගකීමක් බාර ගත්තා කියන එකට.ඒත් ඒකට මුල් වෙච්ච ජනකතාව හුඟ දෙනෙක් දන්නේ නෑ. ඒක මෙහෙමයි.

ඔන්න ගැමියෝ දෙන්නෙක් කැලයක් මැදින් ගමන් කරනවා. එතකොට මේ දෙන්නට ලොකු රුක් මුලක් අතරින් මතුවුණු යමක් පේනවා. ඒ ගැන විමසිල්ලෙන් බලන කොට තමයි තේරුණේ ඒ කොටි වලිගයක් බව. කොටියකුට ඒ ගහ යට නින්ද ගිහින්. මුලක දෙබලක් මැදින් කොටි වලිගය මතුවෙලා. මේක දෙන්නගේම ජීවිතවලට තර්ජනයක්. ඒ නිසා එක් ගැමියෙක් පැන්න හැටියෙම අර කොටි වලිගය අල්ල ගත්තා. මොකද කොටියා මේ දෙන්නව දැක්කොත් ඒකාන්තයෙන්ම මරා දමන හින්දා. කොටි වලිගය අල්ලා ගත්ත ගැමියා කෙටේරිය අතේ තියෙන ගැමියට මෙන්න මෙහෙම කිව්වා.“ඉක්මණට ඉස්සරහින් ඇවිත් ඕකගේ ඔළුවට කොටපන්”

එතකොට අර කෙටේරිය ගත්ත ගැමියා ඉස්සරහට ඇවිල්ලා කොටියගේ මූණ දිහා බලලා මෙහෙම කිව්වා.
“අනේ බං මට නම් ඒක කීයටවත්ම කරන්න බෑ. පේනවද මුගේ මූණේ හැටි. හරියට අපේ මාමගේ මූණ වගේමයි. අනේ ඉතින් මම මොන හිතකින් මේකගේ මූණට කොටන්නද?”

“ඉක්මණට කොටපන්.” ඉතා වෙර වීරිය යොදලා කොටි වලිගය අල්ලා ගත්ත ගැමියා අමු තිත්ත කතාවකුත් එක්ක එහෙම කිව්වා.
නමුත් කෙටේරිය තියෙන ගැමියා බෑ ම කියනවා. හේතුව කොටියාගේ මූණ දැක්කම මාමගේ මූණ මතක් වෙන නිසා.
අන්තිමට කොටි වලිගය අල්ලා ගත්ත ගැමියා කිව්වා, “එහෙනම් ඇවිත් මුගේ වලිගය අල්ල ගනින්. මම කොටන්නම්.” කියලා.
එහෙම කිව්වට පස්සේ කෙටේරිය තියෙන ගැමියා කොටි වලිගය අල්ලගෙන කෙටේරිය අනෙක් ගැමියාට දුන්නා. ඊට පස්සේ අනක් ගැමියා මෙහෙම කිව්වා.

“එහෙනම් මාමාලා බෑනලා ඕන දෙයක් කරගනිල්ලා. මම යන්න යනවා.” මෙහෙම කියපු ගැමියා යන්න ගියා.
ඔන්න ඕක තමයි ‛කොටි වලිගය අල්ලා ගත්තා වගෙයි’ කියන පිරුළට මුල් වෙච්ච ජන කතාව.සමහරුන් නම් හිතාවි ඕවා කිසිම වැදගැම්මකට නැති නූගත් ගැමි ප්‍රවාද කියලා ඒත් අද රටේ සිද්ද වෙන දේවල් දිහා විමසුම් සහගතව බලන කොට ඔබට වැටහේවි අද රටේ මේ විදිහට කොටි වලිග අල්ලා ගත්තු කී දෙනෙක් නම් ඉන්නවද කියලා.නම්ත් අපේ රටේ ජන කතා සම්බන්ධයෙන් පවතින උදාසීන බව අනුව මේවා තව දිගු කාලයක් පවතීද කියන සැකය නම් බැහැර කරන්න බැහැ.

හේමන්ත රන්බණ්ඩාර

උරුමයක අසිරිය