කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි ප්‍රකට ‘සපුමල්’ ඇතාට වැඩිදුර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.වනෝද්‍යානය තුළ පිහිටි ජලාශවල ඉවුරු ආශ්‍රිතව නිතර සැරිසරන මෙම ඇතාගේ වම් පාදයට සහ හොඬයේ ඉහළ කොටසට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් 23 වැනිදා ඇතාට මෙම වැඩිදුර ප්‍රතිකාර ලබා දී තිබේ.කෙසේ වෙතත්, සපුමල් ඇතාට වෙඩි තැබීම සිදු වූ ආකාරය, එය සිදු කළ පුද්ගලයන් පිළිබඳව හෝ ඇතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේද යන්න පිළිබඳව ද නිල තොරතුරු අනාවරණය වී නැත.සපුමල් ඇතාට සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සත්ව ලෝලීන් සහ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික වනෝද්‍යානයක් තුළ වන සතෙකුට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වීම බරපතළ තත්ත්වයක් බවයි.ජාතික වනෝද්‍යාන යනු වන සතුන්ට ස්වභාවික පරිසරය තුළ ආරක්ෂිතව ජීවත් වීමට වෙන් කර ඇති ප්‍රදේශ වන බැවින්, එවැනි ස්ථාන තුළ සිදුවන වනජීවී අපරාධ වැළැක්වීම සඳහා නිරීක්ෂණ හා ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඔවුහු අවධාරණය කරති.සපුමල් ඇතාගේ සුවය පිළිබඳව සහ වෙඩි තැබීම සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි තොරතුරු ලබා දීම ද මේ වන විට වැදගත් වී තිබේ.