දිට්වා සුළි කුණාටුවට අදට වසරයි; හානි පූර්ණය තවමත් සම්පූර්ණ නැහැ

රටේ ප්‍රදේශ රැසකට බරපතළ විනාශයක් සිදු කරමින් සිය ගණනකගේ ජීවිත අහිමි කළ දිට්වා සුළි කුණාටුව ඇති වී අදට (26) වසරක් සපිරෙයි. එහෙත් එම ආපදාවෙන් විපතට පත් වූ විශාල පිරිසක් වසරක් ගතවී ඇතත් තවමත් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ හටගත් අඩු පීඩන කලාපය පසුව ‘දිට්වා’ නමින් හැඳින්වූ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය. එම කාලගුණ පද්ධතියෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වූ අතර, අධික වර්ෂාපතනය, තද සුළං, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජන ජීවිතයට බරපතළ හානි සිදු විය.ආපදාවෙන් මාර්ග පද්ධති, නිවාස, වගාබිම් සහ වෙනත් දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ වූ අතර, පවුල් රැසකට සිය ජීවනෝපායන් අහිමි විය. දිට්වා සුළි කුණාටුව හා ඒ ආශ්‍රිත ආපදා හේතුවෙන් 650කට අධික පිරිසක් මියගොස් ඇති අතර, 173කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.ආපදාවෙන් නිවාස හා දේපොළ අහිමි වූ ජනතාවට සැලකිය යුතු වන්දි මුදල් ලබාදෙන බවට රජය පොරොන්දු වී තිබුණද, එම සහන හා වන්දි ලබාදීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නොමැති බව විපතට පත් ජනතාව පවසති.ඇතැම් ප්‍රදේශවල නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල්වලට පවා නැවත නිවාස ඉදිකර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වේ. ඒ හේතුවෙන් එම ජනතාවට තාවකාලික නවාතැන්වල හෝ වෙනත් අයගේ ආධාර මත ජීවත් වීමට සිදුව තිබේ.වසරක් ගතවී තිබුණද දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි සම්පූර්ණයෙන් පූර්ණය කර ගැනීමට නොහැකිව සිටින ජනතාවගේ ගැටලු විසඳීම සඳහා වන්දි හා සහන ලබාදීම කඩිනම් කළ යුතු බව විපතට පත් පවුල් පෙන්වා දෙති.දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ස්වභාවික ආපදාවකින් සිදු වූ හානියක් පමණක් නොව, එම විපතෙන් පසු ජනතාව යළි නඟාසිටුවීමේ කාර්යය දීර්ඝ කාලීන අභියෝගයක් බවට පත්ව ඇති බව වසරක පසුබිම තුළ පැහැදිලි වෙයි.

කාලීන පුවත්