පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව


අප හුස්ම ගන්නේ වාතයයි. එහෙත් ඒ වාතයම අපට නොපෙනෙන සෞඛ්‍ය අවදානමක් බවට පත්විය හැකි බව බොහෝ දෙනාට සිහිපත් වන්නේ වායු ගුණාත්මකභාවය පහළ ගිය විට පමණි. පිරිසිදු වාතය ජීවිතයට අත්‍යවශ්‍ය වුවද, දූවිලි, දුම්, විෂ වායු සහ ඉතා සියුම් දූෂක අංශු මිශ්‍ර වූ වාතය අපගේ ශ්වසන පද්ධතියට පමණක් නොව හෘද සෞඛ්‍යයට ද බලපෑම් කළ හැකිය. මෑත දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යාමත් සමඟ මේ කාරණය යළිත් මහජන අවධානයට ලක්ව තිබේ. මෙය හුදෙක් පරිසර විද්‍යාඥයන්ගේ හෝ කාලගුණ විද්‍යාඥයන්ගේ සාකච්ඡාවකට සීමා වූ මාතෘකාවක් නොව, පාසල් දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වාත්, මහමඟ වැඩ කරන කම්කරුවාගේ සිට දෛනිකව ගමන් බිමන් යන සාමාන්‍ය ජනතාව දක්වාත් සියලු දෙනාගේම ජීවිතයට සම්බන්ධ ගැටලුවකි. ඒ නිසාම වායු ගුණාත්මකභාවය පහළ යාම යනු අපට නොපෙනෙන පරිසර අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය.

මධ්‍යම පරිසර අධිකාරිය  නොවැම්බර් 20 වැනිදා නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට අනුව, එදින පෙරවරු 10.50 වන විට හලාවත ප්‍රදේශයෙන් වාර්තා වූ අගය 190කි. එය ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක දර්ශකයේ සෞඛ්‍යයට අහිතකර (Unhealthy) කාණ්ඩයට අයත් ඉහළ අගයකි. එම දර්ශකයට අනුව යාපනයෙන් 164ක්, ත්‍රිකුණාමලයෙන් 161ක්, මුලතිව්වෙන් 160ක්, කිලිනොච්චියෙන් 159ක් සහ අනුරාධපුරයෙන් 156ක් වාර්තා වී තිබේ. මීට අමතරව මන්නාරම, අක්කරේපත්තුව, බත්තරමුල්ල, මහනුවර, රත්නපුර සහ ඇල්ල යන ප්‍රදේශවල ද වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති බව වාර්තා විය.

මෙහිදී වැදගත් කරුණක් වන්නේ වායු ගුණාත්මක දර්ශකය (Air Quality Index – AQI) යනු වාතයේ දූෂක ප්‍රමාණය සරල සංඛ්‍යාවක් මඟින් මහජනතාවට තේරුම් කර දීමට භාවිත කරන දර්ශකයක් බවයි. එය උෂ්ණත්වය හෝ ආර්ද්‍රතාවය මෙන් සාමාන්‍ය කාලගුණික මිනුමක් නොවන අතර, වාතයේ දූෂක ප්‍රමාණය වැඩි වන විට දර්ශක අගය ද ඉහළ යයි. ශ්‍රී ලංකාවේ AQI-SL දර්ශකය අනුව අගය 151–200 අතර පවතින විට එය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් ලෙස සැලකේ. එවැනි අවස්ථාවක සංවේදී පුද්ගලයන්ට වඩාත් බරපතළ බලපෑම් ඇති විය හැකි අතර, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට ද අහිතකර බලපෑම් ආරම්භ විය හැකිය.

වායු දූෂණය යනු හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරන සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවන බව පසුගිය දිනවල යාපනයෙන් ලැබුණු වාර්තා පෙන්වා දෙයි. වායු දූෂණය සහ දෘශ්‍යතාව පහළ යාම හේතුවෙන් යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට චෙන්නායි දක්වා ක්‍රියාත්මක වන ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා විය. ගුවන් යානා ආරක්ෂිතව ගොඩබැස්වීමට හා පිටත්වීමට අවශ්‍ය දෘශ්‍යතාව නොතිබීම එයට හේතුව වී තිබිණි. මෙවැනි තත්ත්වයක් මඟින් වායු දූෂණය පරිසරයේ පමණක් නොව ප්‍රවාහනය, ආර්ථික කටයුතු සහ දෛනික ජනජීවිතය ද අඩාල කළ හැකි බව පැහැදිලි වේ.

මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට පිටතින් හමා එන සුළං ධාරා සමඟ සියුම් දූවිලි හා වායු දූෂක අංශු මෙරටට පැමිණීම මෙම තත්ත්වයට හේතුවක් බවයි. විශේෂයෙන් බෙංගාල බොක්ක හා ඉන්දියානු උපමහාද්වීපය ආශ්‍රිත වායු ස්කන්ධවල ගමන් දිශාව වෙනස් වීමත් සමඟ දූෂිත වායු අංශු මෙරටට පැමිණිය හැකිය. නොවැම්බර් 9 සිට 15 දක්වා කාලය පිළිබඳ වායු ගුණාත්මක වාර්තාවක ද සඳහන් වන්නේ උතුරු හා ඊසානදිග දිශාවෙන් පැමිණි වායු ස්කන්ධ සමඟ දූෂක අංශු මෙරටට ඇතුළු වීමේ හැකියාව පැවති බවයි.

එහෙත් මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ විදේශීය වායු දූෂණය පමණක් ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය පහළ යාමට හේතුව නොවන බවයි. වාහන දුම්, කර්මාන්තශාලා විමෝචන, ඉදිකිරීම් කටයුතු, මාර්ග දූවිලි, කසළ හා ජෛව ද්‍රව්‍ය දහනය වැනි දේශීය හේතු ද වායු දූෂණයට දායක වේ. එබැවින් විදේශීය දූවිලි අංශු මෙරටට පැමිණීම තාවකාලික හේතුවක් විය හැකි නමුත්, දේශීය වායු දූෂණය පාලනය කිරීමේ වගකීමෙන් අපට බැහැර විය නොහැකිය.

ඒ.ජී. රේණුකා දමයන්ති
එතෙර - මෙතෙර