ලොතරැයි ඉතිහාසයේ වැඩිම තෑගි මුදල දිනා ගනියි – ලංකා මුදලින් කෝටි 74,000 ක් !

lotto1

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී පවර්බෝල් (Powerball) ජැක්පොට් ලොතරැයියක් මිල දී ගත් පුද්ගලයකු ලෝකයේ ලොතරැයි ඉතිහාසයේ වැඩිම තෑගි මුදල දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු දිනාගෙන ඇති තෑගි මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.04 කි. එය ලංකා රුපියල්වලින් කෝටි 74,000 කට ආසන්න මුදලකි. ජයග්‍රාහී අංක සඳහන් ටිකට්පතක් විකිණී ඇති බව ලොතරැයි නිලධාරීන් සඳහන් කර තිබුණත් තවමත් ජයග්‍රාහකයාගේ අනන්‍යතාව අනාවරණය වී නැත. ජයග්‍රාහී ටිකට්පත අලෙවි කරනු ලැබ තිබුණේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇල්ටඩීනා නැමැති නගරයේ ඉන්ධන පිරවුම් හලක් විසිනි.

පවර්බෝල් ලොතරැයියේ පළමු තෑග්ග හිමි කරගැනීමට නම් ටිකට්පතේ සඳහන් අංක 6 ජයග්‍රාහී අංකය සමග ගැලපිය යුතුය. මෙවර ජයග්‍රාහී අංක වූයේ 10-33-41-47-56 සහ 10 යි. අංක 5 ක් ගැලපුනහොත් ඇ. ඩොලර් මිලියනයක (ලංකා රුපියල් කෝටි 36 ක පමණ) මුදලක් හිමි වේ. එවැනි ටිකට් පත් 22 ක් අලෙවි වී ඇති බව ද සඳහන් ය.

ජයග්‍රාහකයාට තෑගි මුදල එකවර ලබා ගැනීමට හෝ වාර්ෂිකව කොටස් වශයෙන් ලබා ගැනීමට හෝ හැකියාව තිබේ. එකවර ලබා ගන්නේ නම් සම්පූර්ණ මුදල හිමි වන්නේ නැත. මෙවර දිනුම් ඇදීමේ කොන්දේසි අනුව ඔහුට හෝ ඇයට හිමි වනු ඇත්තේ ඇ.ඩොලර් මිලියන 998 ක් පමණි. එය ලංකා රුපියල්වලින් කෝටි 36,000 ක් පමණ වේ. වාර්ෂිකව කොටස් වශයෙන් ලබා ගන්නේ නම් සම්පූර්ණ මුදල හිමි කරගත හැකි වුවත් ඒ සඳහා වසර 29 ක් ගත වනු ඇත. මේ නිසා බොහෝ ජයග්‍රාහකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ ටිකක් අඩුවෙන් වුව ද එකවර මුදලක් ලබා ගැනීමට ය.

lotto

ලොතරැයියේ තෑගි මුදල මේ තරම් ඉහළ ගියේ පසුගිය මාස තුනකට ආසන්න කාලය තුළ සිදු කළ දිනුම් ඇදීම් 40 කදීම කිසිදු ජයග්‍රාහකයකු වාර්තා නොවීම නිසාය. අවසන් වරට ජයග්‍රාහකයකු වාර්තා වී තිබුණේ අගෝස්තු මාසයේ යි. ඔහුට හිමිව තිබූ තෑගි මුදල ඇ. ඩොලර් මිලියන 207 ( ලංකා රුපියල් කෝටි 7,500) කි.

මෙවර දිනුම් ඇදීම සිදු කර තිබුණේ පසුගිය අඟහරුවාදා (08) යි. ඊට පෙර ලොතරැයි ඉතිහාසයේ පිරිනමා තිබූ වැඩිම තෑගි මුදල වූයේ ඇ. ඩොලර් බිලියන 1.59 කි. එම දිනුම් ඇදීම කර තිබුණේ 2016 වසරේ යි. එහිදී තෑගි මුදල ජයග්‍රාහකයන් තිදෙනෙකු අතර බෙදී ගොස් තිබිණි. එවර ටිකට්පත් අලෙවි වී තිබුණේ කැලිෆෝනියා, ෆ්ලොරිඩා සහ ටෙනෙසි යන ප්‍රාන්තවල ය.

මෙවර ටිකට්පත අලෙවි කළ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුට ද ඩොලර් මිලියනයක මුදලක් පිරි නමා තිබිණි. ඒ ජයග්‍රාහී ටිකට්පත අලෙවි කිරීම වෙනුවෙනි. ජෝසෆ් චහායේද් නැමැති ඔහු 1980 වසරේ සිරියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූවෙකු බව සඳහන් වේ. ඔහු මුනුපුරු මිනිබිරියන් 11 දෙනෙකුගේ සීයා කෙනෙකි. දිනුම් ඇදීම කළ දිනට පසුදින උදෑසන තමා ඉන්ධන පිරවුම්හල වෙත එද්දී ලොතරැයි ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු තමා එන තුරු එහි රැඳී සිටි බව ජෝසෆ් පවසා තිබිණි. ‘සුබ පැතුම් ! ඔබ ජයග්‍රාහකයකු බිහි කර තිබෙනවා’ යනුවෙන් ඔවුන් පැවසූ බව ද ඔහු සඳහන් කළේය. පවර්බෝල් ලොතරැයිය කැලිෆෝනියා හි පාසල්වලට ද විශාල වශයෙන් ආධාර කරන්නක් නිසා තමා විශේෂයෙන් සතුටු වන බව ද ජෝසෆ් පවසා තිබේ.

මෙම ලොතරැයිය ආරම්භ කරන ලද්දේ 1992 වසරේ යි. එය ඇමරිකාවේ ප්‍රාන්ත 50 න් 45 කම අලෙවි කරනු ලැබේ. ඊට අමතරව අගනුවර වන වොෂින්ටන් නගරයේ ද, ඇමරිකාවට අයත් කලාප වන පෝර්ට රිකෝ සහ වර්ජින් දූපත්වල ද එය අලෙවි කෙරේ. එක් ටිකට්පතක මිල ඩොලර් 2 කි. විදේශිකයන්ට ද ඔන්ලයින් ක්‍රමයට ටිකට්පත් මිල දී ගත හැක. ඒ සඳහා ඇමරිකානු පුරවැසියකු හෝ ඇමරිකාවේ පදිංචිකාරයකු හෝ විය යුතු නොවේ. නමුත් තෑගි මුදල් ලබා ගත හැක්කේ අදාල ටිකට්පත මිල දී ගත් ප්‍රාන්තයේ දී පමණි. විදේශිකයන් කිහිප දෙනෙකුම තෑගි මුදල් දිනාගෙන ඇති බව ද සඳහන් වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්