දින පනහේ බිළිඳිය මැරූ මව රක්ෂිත බන්ධනාගාරයට

දින පනහක් වයසැති සිය බිළිඳියට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කියන විසි නව හැවිරිදි උපාධිධාරි ගුරුවරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඉකුත් පස් වන දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් එම කාන්තාවගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරනුයේ දරුවා ලැබීමෙන් පසු ඇගේ මානසික විකෘතිතාවයක් දක්නට ලැබූ බැවින් ඇය ඊයේ(06) මනෝ වෛද්‍ය වරයකුට පෙන්වීමට තිබිය දී මෙම අපරාධය කළ බවකි.

පසුව මෙම අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත ප්‍රකාශයක් කරමින් ඇය කියා ඇත්තේ ද තමන්ට එවැනි සිද්ධියක් පිළිබඳ මතකයක් නොමැති බවකි.කාන්තාවකගේ ගර්භනී බව සහ පශ්චාත් ප්‍රසව සමය මුල් කොට හටගත හැකි විශේෂ මානසික රෝග ඛාණ්ඩයක් තිබේ.

ඒ අනුව යම් කාන්තාවක ගර්භනී සමයේ හෝ දරු ප්‍රසූතියෙන් පසු කතා බහ සහ හැසිරීම් වල ව්‍යාකූල බවක් පළ කරන්නේ නම් වහාම ඔවුන් ළඟම ඇති රෝහලේ මනෝ වෛද්‍ය සායනය වෙත යොමු කළ යුතු බව පෙන්වා දෙන මනෝ වෛද්‍ය වරුන් අවධාරණය කරනුයේ ඔවුන් ගේ පවුල් වල ඥාතීන් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක නොවීම අලුත උපන් බිළිඳාගේ සේම එම මවගේ ජීවිත දරුණු අවදානමකට ලක් කිරීමක් බවය.

කාලීන පුවත්