එදා දරුවන්ට “කඩ කෑම”එපා කියා අද පවුල් පිටින් ගිහින් කන “වීදි කෑම” ගැන දැන ගනිමු

Street-Foods

කලින් කලට වෙනස්වන අප රටේ ආහාර සංස්කෘතියට අලුතින්ම එක් වී ඇති ‘වීදි ආහාර’, වඩාත් ජනප්‍රිය නමින් සඳහන් කළහොත් ‘ස්ට්‍රීට් ෆුඩ්ස්’ (Street Foods) පිළිබඳ නොදන්නා අයකු නොමැති තරම් ය. අඳූර වැටීගෙන එද්දී කලඑල බසින වීදි ආහාර කඩමණ්ඩි නිසා සාමාන්‍ය වෙළෙඳ සල්වලට බාධා ඇතිවෙතැයි පවසමින් කිඹුලාවල ප්‍රදේශයේ ඇති වීදි ආහාර කඩ ඉවත් කරන්නට ගොස් සිදු වූ කලබගෑනිය බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී තිබෙනවාට සැක නැත. ඒ තීරණය රජය විසින් නවතා දැමූ බැවින් වීදි ආහාර කර්මාන්තය දැන් ඉතා නිදහසේ සිදුකෙරෙමින් පවතී. ගෝල්ෆේස් පිටියේ ඇති වීදි කඩ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ය. ඊට අමතරව අලුත්කඩේ, පිලියන්දල – කැස්බෑව මාර්ගය, කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයේ කිඹුලාවළ යන ස්ථානවල ද මේ ව්‍යාපාරය සාර්ථකව සිදුවෙමින් පවතී.

අතීතයේ සිට අප රටේ බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් පුරුදුව සිටින්නේ සිය නිවසේ පිසින ලද ආහාර භුක්ති විඳින්නට ය. යම්හෙයකින් එසේ කරන්නට යම් අපහසුතාවක් ඇතිවුවහොත්, කඩවල්වලින් කෑම ගැනීමට පුරුදු සිටින්නෙමු. එය එසේ වුව ද, “කඩ කෑම කාලා බඩේ අමාරුව හදා ගන්න එපා” කියා කියන්නට අපේ වැඩිහිටියෝ පුරුදුව සිටියහ. කලකට පෙර එවැනි අවවාද දෙන වැඩිහිටින් සිටිය ද වර්තාමානය වන විට පවුල් පිටින් ගොස් වීදි ආහාර ගන්නා තරමට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී තිබේ.

වීදි කෑමවල අතීතය සොයා ගියහොත් දැනට වසර දස දහසකට පමණ පෙර ග්‍රීසියේ සහ ඊජිප්තුවේ මේ සංස්කෘතිය පැවැතී තිබේ. බටහිර රටවල සිට ආසියාවට මේ අපූරු සංස්කෘතිය පැමිණි බොහෝ කාලයක් වුව ද ලංකාව තුළ මෙය ජනප්‍රිය වන්නට පටන් ගැනුණේ සාපේක්ෂව මෑත කාලයේ දී ය. කඩල, රටකජු වැනි සුළු කෑම හැරුණු විට වෙනත් ආහාර පාර තොටේ දී අනුභව කිරීම අපේ රටේ එතරම් පිළිගැනීමකට ලක් වූ සිරිතක් නොවේ. අප රට තුළ වීදි ආහාර ප්‍රචලිත වන්නට වැඩි කාලයක් ගතවන්නට මෙය ද එක් හේතුවක් වන්නට ඇත. ආසියානු රටවල් ලෙස ගතහොත් චීනය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල වීදි ආහාර සංස්කෘතිය ඉතා බහුලව ව්‍යාප්තව පවතී.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග බොහෝ දෙනෙකුගේ රැකියා අහිමිවීම, වීදි ආහාර සංස්කෘතියට වැඩි පිරිසක් සම්බන්ධ වීමට හේතුව වශයෙන් පෙනී ගොස් තිබේ. බිල් ගෙවීම්, කුලී ගෙවීම් ආදිය නොමැති බැවින් ඉතා ලාබදායී ව්‍යාපාරයක් බවට ද පත් ව ඇත.

සාමාන්‍ය කෑම කඩයක දක්නට නොලැබෙන ආහාර වර්ග බොහොමයක් වීදී ආහාර කඩවල දකින්නට ලැබීම මේවා ජනතාව අතර ජනප්‍රියවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඇතැම් ආහාර වර්ග මුල්වරට දැක ගන්නට ලැබෙන්නේ ද මේවායේ ය. චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල වීදි ආහාර වෙළෙඳසල්වල දක්නට ඇති ආහාර වර්ග ද මේවායේ දී රස විඳිය හැකි ය.

බොහෝ දෙනෙක් පවසන පරිදි වීදි ආහාරවල ඇති ප්‍රධානතම වාසිදායක තත්ත්වය වන්නේ අප ඉදිරියේ ඒවා පිළියෙල කරනු දැක ගත හැකි වීම ය. “අපි ඉස්සරහම නේ හදන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ.” යනුවෙන් බොහෝ විට පවසනු ඇසේ. කෙසේ නමුත් අපට නොපෙනෙන ගැටලු කිහිපයක් වීදි ආහාර සම්බන්ධව ඉතිරිව තිබේ. අපට ඒවා මෙසේ සඳහන් කළ හැකිය.

ආහාර පිළියෙල කිරීමට ගන්නා තෙල්

වීදි ආහාර බොහොමයක් ගැඹුරු තෙලේ බැද පිළියෙල කරනු ලබයි. මේ තෙල් බෙහෝ විට කිහිප වාරයක් භාවිත කරන ලද ඒවා ය. ඇතැම් විට දින දෙකකටත් වඩා කල් ගත වූ ඒවා වන්නටත් පුළුවන. මේ තෙල් සම්බන්ධ ගැටලු තිබේ. ගැඹුරු තෙලේ බදින විට ස්වභාවිකවම ඉහළ සංතෘප්ත මේද තත්ත්වයක් ඇති වෙයි. අනෙක දින කිහිපයක් භාවිත කොට ඇති බැවින් ආහාරයේ මේද අම්ලයක් ඇතිවන අතර එය හිතකර තත්ත්වයක් නොවේ. මේ අම්ල ජීර්ණය කරන්නට ශරීරයට නොහැකි බැවින් ඒවා අපගේ රුධිර නාල තුළ කැටි වශයෙන් රැස් වී ඒවා අවහිර කරයි. පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇති කරන්නට එය හේතු වේ.

කැලරි ධාරිතාව

සාමාන්‍යනේ සොයා ගෙන ඇති පරිදි ඇතැම් වීදි ආහාර රසවත් කිරීමට යොදා ගන්නා විවිධ රසකාරකවල ප්‍රතිඵලයක් ලෙස මේවායේ කැලරි ධාරිතාව ඉහළ බව පෙනී ගොස් තිබේ. දීර්ඝ කාලීනව වීදි ආහාර පරිභෝජනය කිරීම හිතකර නොවන්නේ එබැවිනි.

ග්ලූකෝස් මටට්ම ඉහළ යාම

වීදි ආහාර බොහොමයක් පිළියෙල කරනු ලබන්නේ තිරිඟු පිටිවලිනි. මෙහි කාබෝහයිඩ්‍රේට් අධික බැවිනි සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමන්නට එය හේතුවක් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම, මේදය එක්රැස් වීම අධික වීම සිදුවේ. එය නැවතත් ඔබට හෘදයාබාධ සහ දියවැඩියා අවදානම ඉහළ දමන්නට හේතු වේ.

ලුණු මට්ටම අධික වීම

රස නහර පිනා යන තරමට වීදි ආහාර පිළියෙල කරද්දී ඒවාට දමන ලුණු ප්‍රමාණය ද අධික ය. එක් චිකන් බර්ගර් එකක් හෝ බදින ලද අල පෙත්තක ලුණු මිලි ග්‍රෑම් 1000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබේ යැයි ගණන් බලා තිබේ. මෙය අධි ආතති තත්ත්ව ඇති කරන්නට හේතුවනවා සේම සිරුර් ජල සාන්ද්‍රණය අඩු කරන්නටත් හේතු වේ.

බැක්ටීරියා අවදානම

අලුත්කඩේ ප්‍රදේශයේ ඇති වීදි ආහාර සම්බන්ධව සමාජ ජාලවල සංසරණය වූ වීඩියෝ පටිගත කිරීමක දකින්නට ලැබුණේ මේවායේ ඇති අඩු සනීපාරක්ෂක බව ය. ආහාර පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා ජලයේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. ඇතැම් ආහාර පිළියෙල කරනුයේ ඉතා අපිරිසිදු ස්ථානවල අපිරිසිදු ආකාරයෙනි. වීදි ආහාර වෙළෙඳ සල් බොහොමයක් රාත්‍රී කාලයේ දී පවත්වාගෙන යන බැවින් බොහෝ විට මේවා පැහැදිලිව පෙනෙන්නේ නැත. එබැවින් බැක්ටීරියා සහ වෙනත් විෂ බීජ සහිත ආහාර වර්ග පරිභෝජනය කෙරෙන්නට ඇති ඉඩ කඩ බොහෝය.

රාත්‍රිය පසුබිම් කරගනිමින් සමාජ ජලාවල සංසරණය වන වීදි ආහාර වෙළෙඳ සල්වල ඡායාරූප නෙත් ඇදගන්නා බව සැබෑය. ඒවා දකින විට වීදි ආහාරයට රස බලන්නට දිව පොපියනු ඇත. එසේ රස නොබලන්නැයි මෙයින් පවසන්නේ නැත. කෙසේ නමුත් ඔබේ සෞඛ්‍යය පිළිබඳව ද අවධානය පවත්වා ගනිමින් වීදි ආහාරයක රස බලන්නේ නම් එය ඉතා සිහිකටයුතු බව සඳහන් කළ යුතු ය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

Street Foods

එතෙර - මෙතෙර