දේශපාලනඥයන් පන්සල් පල්ලි වලට ගොස් දේශපාලන කතා කළ යුතු නැහැ

දේශපාලනඥයන් තමන්ගේ බලය ගොඩ නඟා ගැනීම පිණිස පන්සල් පල්ලි වලට දේශපාලන කතා කියන මුත් එය කෙසේ වත් අනුමත කළ නොහැකි බවත් මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අග රද ගුරුතුමෝ කීහ.පසුගිය දා මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රැස්ව සිටි බැතිමතුන් අමතා රටේ අනාගතය සම්බන්ධයෙන් යම් යම් කරුණු ගෙන දැක්වූ අතර එම දේව මෙහෙයට එක් වූ වතිකානු අපොස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ රද ගුරු හිමිපාණන් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය විශිෂ්ඨ බවත් ඊට වතිකානුවේ අනුමැතිය හිමි වන බවත් ය.ඒ කෙසේ හෝ වතිකානු අපොස්තලික තානාපති ගුරු හිමිපාණන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා කතෝලික රද ගුරු සමුළුවේ නිල ස්ථාවරය ද මෙතෙක් ප්‍රකාශ වී නැත.එවන් පසුබිමක් යටතේ ඊයේ(28) දින රාගම තේවත්ත ජාතික බැසිලිකාව පැවති රෝගීන් සුවපත් කිරීමේ දේව මෙහෙයට එක් වූ මැල්කම් කාදිනල් රන්ජිත් අග රද ගුරුතුමෝ මෙසේ ද කීහ
‘ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනු වලට ගනුදෙනු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්ම. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පාලමක් හැදීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි’මෙම දේව මෙහෙය සඳහා අති විශාල බැතිමතුන් පිරිසක් එක් ව සිටියහ.

කාලීන පුවත්