මිලියනයකට එකක් සිදුවන අතිශය දුර්ළභ දරු උපතක් ගැන පසුගිය දා ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා විය. මෙහි දී සිදුව ඇත්තේ ගර්භාෂ දෙකක් තිබූ කාන්තාවක එකවර එම ගර්භාෂ දෙකෙන්ම දරුවන් දෙදෙනකු බිහි කිරීම යි. මෙම විස්මයජනක දරු ප්‍රසූතියට සම්බන්ධ මවගේ නම කෙල්සි හැචර් ය. ඇය 32 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා කේලබ් ය. කෙල්සි එක දරුවකු බිහි කර පැය කිහිපයකුට පසු අනෙක් දරුවා බිහි කර තිබූ අතර දරු දෙදෙනාම දියණියන් බව සඳහන් ය. පළමු දරුවා සාමාන්‍ය ආකාරයට බිහි වී තිබිණි. නමුත් දෙවැන්නිය පිටතට ගෙන තිබුණේ සිසේරියන් සැත්කමක් හරහා යි.
ප්රාතිහාර්යයක් බඳු මෙම දරු ප්‍රසූතිය සාර්ථක වීම ගැන මහත් සන්තෝෂයෙන් පසුවන කෙල්සි ඊට සම්බන්ධ වූ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය උණුසුම් ස්තුතිය පුද කර තිබෙනු දැකිය හැකි විය. ඇය සිය දියණියන් දෙදෙනා ද සමග මේ වනවිට නිවසේ සුවෙන් පසුවන බව වාර්තා වේ. නත්තල් නිවාඩුව දරුවන් සමග නිවසේ ගත කරන්නට ලැබීම ගැන ද කෙල්සි මහත් සතුටින් පසුවන බව සඳහන් ය.
මෙම දරු උපත සිදුව තිබුණේ බර්මින්හැම් හි ඇලබාමා විශ්ව විද්‍යාල රෝහලේ යි.
කාන්තාවකට ගර්භාෂ දෙකක් තිබීම සැලකෙන්නේ ඉතා දුර්ළභ තත්ත්වයක් ලෙසිනි. එවැනි තත්ත්වයක් දැකිය හැකි වන්නේ කාන්තාවන්ගෙන් සියයට 0.3 ක් වැනි සුළු සංඛ්‍යාවකට පමණි. එසේ තිබිය දී එකවර එම ගර්භාෂ දෙකේම දරුවන් පිලිසිඳ ගැනීම “ මිලියනයකට එකක් ” තරම් දුර්ළභ සිද්ධියක් බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
2019 වසරේ බංග්ලාදේශයේ සිදු වූ මෙයට සමාන සිද්ධියක් ද එකල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගත්තේය. එහි දී මවක් එක් ගර්භාෂයක සිටි නොමේරු දරුවකු බිහි කර පසුව අනෙක් ගර්භාෂයේ සිටි නිවුන් දරුවන් දෙදෙනකු බිහි කර තිබුණාය. තවත් විශේෂත්වයක් වූයේ දෙවැනි දරු උපත සිදුව තිබුණේ පළමු දරු උපතින් මාසයකට පමණ පසුව වීම යි. එහි දී මෙම දරුවන්ගේ මව වූයේ අරීෆා සුල්තානා නැමැති 20 හැවිරිදි තරුණියකි. එම සිද්ධියේ දී සුල්තානා ගේ ගර්භාෂ දෙකේම දරුවන් සිටින බවක් වෛද්‍යවරුන් පවා නොදැන සිට ඇති බවක් වාර්තා වේ. ඇයට පළමු දරුවා ලැබී තිබුණේ 2019 වසරේ පෙබරවාරි මාසයේ දිනකය. නමුත් එයින් දින 26 කට පසුව නැවතත් ඇයට ප්‍රසව වේදනා ඇතිව තිබූ අතර විස්මයට පත් ඥාතීන් සුල්තානා වහා රෝහල්ගත කර තිබිණි. එහි දී ඇය පිරික්සා බැලූ වෛද්‍යවරුන්ට දැක ගන්නට ලැබුණේ ඇය තවදුරටත් ගැබිනියක බවයි. ඇයගේ දෙවැනි ගර්භාෂයේ ද නිවුන් දරුවන් දෙදෙනකු සිටින බව ඔවුන්ට දැක ගන්නට ලැබුණු අතර වහාම සිසේරියන් සැත්කමකට බඳුන් කර තිබිණි.
ඇමරිකානු කාන්තාව වන කෙල්සි හැචර්ට ගර්භාෂ දෙකක් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයට වයස අවුරුදු 17 දී ය. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන්නේ Uterus Didelphys යන නමිනි.
කෙසේ නමුත් ඇය ද මුලින් සිතා තිබුණේ තම කුසේ සිටින්නේ එක දරුවකු පමණක් බවයි. නමුත් පසුව කරන ලද සාමාන්‍ය අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක දී අනෙක් ගර්භාෂයේ ද දරුවකු සිටින බව හෙලි වී තිබිණි. මෙම දරු උපතට පෙර ද කෙල්සි සාමාන්‍ය ආකාරයෙන් දරුවන් තිදෙනකු බිහි කර තිබුණාය. ඒ අනුව මේ වනවිට ඇය පස් දරු මවකි.
නිවුන් දරුවන්ට වඩා මෙවැනි දරුවන්ට ලැබෙන විශේෂ වාසියක් ගැන ඉහත කී ඇලබාමා විශ්ව විද්‍යාල රෝහලේ විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩේවිස් පවසා තිබිණි. එනම් ඔවුන්ට මවගේ සිරුර තුළ වෙන වෙනම ගෙවල් (ගර්භාෂ) දෙකක් ලැබීම යි. මේ නිසා නිවුන් දරුවන්ට වඩා ඉඩකඩ සහිතව වැඩෙන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. කෙල්සි ගේ පළමු දියණිය උපත ලබා තිබුණේ දෙසැම්බර් 19 වැනි දින රාත්‍රි 7.45 ට පමණ ය. ඊට පැය 10 කට පමණ පසු දෙසැම්බර් 20 වැනි දින උදෑසන 6.10 පමණ දෙවැනි දියණිය බිහිව තිබුණාය. පැය 20 කට ආසන්න කාලයක් කෙල්සි ප්‍රසව වේදනාවෙන් පසු වූ බවක් ද සඳහන් ය.
නිහාල් පීරිස්