රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා රාමඤ්ඤ නිකායෙන් නෙරපයි

“විශ්ව බුද්ධ”නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (21 දා) නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා සාමණේරත්වයෙන් නෙරපීමට, රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක මකුලෑවේ විමල හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.එම නිවේදනයට අනුව ඉකුත් දෙසැම්බර් මස 15 දා පැවැති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් රත්නපුරේ විමලබුද්ධි නමැත්තා සාමණේරත්වයෙන් නෙරපා හැරීමට තීරණය ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියාගේ සාමණේර ලේඛණයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වේ. එසේම ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කර ගනිමින් රත්නපුරේ විමල බුද්ධි නමැත්තා, රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපීමට තීරණය කළ බව ද එම නිකායේ කාරක සංඝ සභාව අදාළ ලිපිය මගින් දැනුම් දී සිටී.‘විශ්ව බුද්ධි මුණි’ නමින් පෙනී සිට බුදු දහමට නිගා වන අයුරින් සහ අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර එම ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් කටයුතු කිරීම හේතුවෙන් භික්‍ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීම මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ එම දෙපාර්තමේන්තුව රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධි මුණි නමැති චීවරධාරියා අත්අඩංගුවට ගන්නා ලදී.එමෙන්ම මොහු කිසියම් පාර්ශවයකින් ලැබෙන මුදල් මත පදනම් ව මෙම අයුතු ක්‍රියා සිදු කොට ඇති බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.

කාලීන පුවත්