ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි පිහිටා ඇති තිරුපති දෙවොල අප කාටත් නුහුරු නුපුරුදු තැනක් නොවේ.
ඒ අප රටේ සාමාන්‍ය ජනතාව නිතර යන එන තැනක් නිසා නොව අපේ දේශපාලඥයන් තමාට බලය ලබාදෙන්නැයි කන්නලව් කරන්නට, වැඳපුදාගන්නට යන තැනක් නිසාය. මෙය ඉතා බලගතු හාස්කම් සහිත කෝවිලක් බව දේශපාලඥයන් එහි යන ආකාරයෙන්ම පැහැදිලි වේ.
කෙසේ නමුත් පසුගිය දා අසන්නට ලැබුණු දෙයකට අනුව සොබා දහම එහි වැඩසිටින දෙවියන්ටත් වඩා බලගතු ද යන කාරණය ගැන නැවත සිතන්නට පෙළඹවීමක් ඇතිකොට තිබේ. ඒ තිරුපති කෝවිල ද ඇතුළුව මෙය පිහිටි ප්‍රදේශයම ගංවතුරෙන් යට වීම නිසාය.
මේ පුවතට අනුව වෙන්කතේෂ්වර දෙවිඳුන්ගේ මුළු දේව භවනම ගංවතුරට හසුවී තිබේ. වෙන්කතේෂ්වර දෙවිඳුන්ගේ පිහිට පතා පැමිණි සිය ගණනක් වූ බැතිමතුන්ට දෙවියන්ගේ ද පිළිසරණක් නොමැතිව යන එන මං නැතිව ගංවතුරේ අතරමංව සිටින්නට සිදුවිය. බෙංගාල බොක්කේ වූ අවපාතය දෙවියන්ගේ බලපරාක්‍රමය ද බිඳ දමා තිබුණි.
තිරුමාලා කන්දේ පිහිටි ප්‍රධාන කෝවිලට ගමන් කරන්නට ඇති මාර්ග හතරම තිබුණේ ජලයට යටිනි. අතිමහත් වූ ගංවතුර හේතුවෙන් බැතිමතුන්ට දෙවියන්ව දැකබලා ගන්නට නොහැකි විය.
ප්‍රධාන කෝවිලට අයත් ජපාලි අන්ජනේයා ස්වාමි කෝවිල ජලයෙන් යට වී තිබුණේ දේව ප්‍රතිමා ද සමග ය. දෙවියන්ගේ පිහිට පතා පැමිණ, ශුද්ධ වූ තිරුමාලා කන්දේ අතරමං වූ බැතිමතුන්ට දෙවියන් වෙනුවෙන් පිහිට වී ආහාරපානාදිය ලබා දුන්නේ දේවස්ථානයේ කාර්ය මණ්ඩලය ය.
තිරුමාලා කන්ද දක්වා ගමන් කරන සියලු මාර්ග ගංවතුර නිසා වසා දමා තිබුණි. තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දමා සියලු ගුවන් ගමන් ද අවලංගු කොට තිබිණි. බැතිමතුන්ට නවාතැන් ගැනීමට ඇති ස්ථාන ද ජලයෙන් යටවීම නිසා ඔවුහු තවත් අසරණව සිටියහ. නාරායනගිරි නම් සුප්‍රකට ලැගුම්හලේ කොටසක් නාය යාමකට හසුව තිබිණි.
දෙවි පිහිට පතමින් බැතිමතුන් පැමිණි වාහන දෙකක් ගංවතුරට ගසාගෙන ගියේය.
නිරංජන් චාමින්ද කරුණාතිලක