තමන් පොළොවේ පය ගසා සිටින්නියක බව ලොවට කියාපාන තායිලන්ත නව අගමැති විලාසිනිය පයෙතොන්ග්තාර්න් ෂිනවත්‍රා

තායිලන්තයට නව අගමැතිවරියක පත්ව තිබෙන අතර ඇය නමින් පයෙතොන්ග්තාර්න් ෂිනවත්‍රා ය. ඇය මෙතෙක් තායිලන්තයේ පත් වූ ලාබාලතම අගමැතිනිය වන අතර එරට පාලනය කළ දෙවැනි අගමැතිනිය ද වන්නීය. 1986 අගෝස්තු 21 වැනිදා උපත ලද, 38 වැනි වියෙහි පසුවන ඇය පසුගිය අගෝස්තු 18 වැනිදා තායි රජු වන වජිරලොන්කෝර්න් ඉදිරියේ අගමැතිනිය ලෙස නිල වශයෙන් දිවුරුම් දුන්නාය. දේශපාලනඥයකු සහ ව්‍යාපාරික කාන්තාවක ද වන ඇය එරට ඉතා ධනවත් ව්‍යාපාරික සහ දේශපාලන පවුලක ලාබාලතම සාමාජිකාව ද වන්නීය. ඇගේ පවුල තායිලන්තය තුළ ප්‍රකට වී ඇති ‘ෂිනවත්‍රා පවුල’ ලෙසින් වන අතර තක්සින් ෂිනවත්‍රා වූ ඇගේ පියා 2001 වසරේ සිට 2006 වසර දක්වා ද, යිංලුක් ෂිනවත්‍රා නම් වූ ඇගේ නැන්දණිය 2011 වසරේ සිට 2014 දක්වා ද එරට අගමැති ධූරය ඔසවනු ලැබ තිබේ. නව අගමැතිනියගේ නම පයෙතොන්ග්තාර්න් ෂිනවත්‍රා වුව ද එරට ජනතාව ඇයව හඳුන්වනු ලබන්නේ ‘උං උං’ නම අනවර්ත නාමයෙනි.

තක්සින් නායකත්වය යටතේ තායිලන්තය සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නට සමත් වුවද, ඔවුන් දුෂණ, අක්‍රමිකතා, වංචා සහ මානව හිමිකම් කඩකිරීම්වලට ද සම්බන්ධ බවට ප්‍රකට කරුණකි. නව අගමැතිනියගේ පියා වූ තක්සින්ගේ මේ ක්‍රියාකලාපය නිසා 2006 වසරේ දී ඔහුව හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලදී. පයෙතොන්ග්තාර්න්ගේ නැන්දණිය වූ යිංලුක්ට ද අත්වූයේ ද එම ඉරණමම වූ අතර 2014 වසරේ දී ඇය ද බලයෙන් පහකරනු ලැබුණි. පයෙතොන්ග්තාර්න් එරට නව අගමැතිනය ලෙස පත්වන්නේ මෙවැනි තත්ත්වයක් පවතින වටපිටාවකය.

සිය පියා ද සමග රාජකීය ඇඳුමින් සැරසී

ෂිනවත්‍රා පවුල මාධ්‍ය මගින් නිරූපණය කොට ඇත්තේ දේශපාලනමය වශයෙන් වංශවත් පවුලක් ලෙස වන අතර ඔවුන්ගේ දේශපාලනය, ධනය සහ පෞද්ගලික ජීවිත පිළිබඳ තායිලන්තය පුරා විවිධාකාර දූෂමාන ආරංචි පැතිර පවතී. පයෙතොන්ග්තාර්න් එරට අගමැතිනිය ලෙස පත්වන්නට පෙර සිටම ඇය නිසැකවම එරට අගමැතිනිය ලෙස පත්වන බවට කටකතා ද පැතිර තිබිණි.

පයොතොන්තාර්න්ගේ පියා වූ තක්සින්

පයෙතොන්ග්තාර්න් කෙතරම් ධනවත් තැනැත්තියක වුවද ඇය විවාහ වී සිටින්නේ තායි ගුවන් සේවයේ ගුවන් නියමුවකු වන පිටාකා සුක්සාවත් සමග යන කාරණය තරමක් විමතිය දනවන්නකි. ඔවුන්ගේ විවාහය පිළිබඳ මාධ්‍ය මගින් මතුකර දක්වන ලද කාරණය වූයේ ධනය, බලය කෙතරම් පැවතිය ද පයෙතොන්ග්තාර්න් හට ‘පොළොවේ පය ගසා ජීවත්වන’, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට ඕනෑකම තිබෙන බවය. කෙසේ නමුත් ඔවුන්ගේ විවාහය සිදු වූ දින පටන් එරට මාධ්‍ය ඔවුන් පසුපස පන්නමින් මෙය නොගැළපෙන විවාහයක් බවත්, ඇගේ සැමියාට මේ ධනවත් සහ බලවත් පවුලෙන් දැඩි බලපෑම් ඇති වන බවත්, කුමන මොහොතක හෝ එය දෙදරා යනු ඇති බවටත් පුවත් පළ කරනු දක්නට හැකි විය. නමුත් බුද්ධිමත් ගැහැනියක ලෙස ක්‍රියා කළ පයෙතොන්ග්තාර්න් මේ සියල්ල හුදෙක්ම කටකතා බවට ඔප්පු කර පෙන්වන්නට සමත් වූවාය. අනෙක ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ළඟින්ම සිටිමින් සියල්ල සංවිධානය කළ ප්‍රධාන ආධාරකරුවා වූයේ ද අන් කිසිවකු නොව ඇගේ සැමියාය. ඇය මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වන්නීය.

තායිලන්තයේ ඉතා ගෞරවනීය උසස් අධ්‍යාපන ආයතන අතරින් එකක් වන චූලාලොංකෝර්න් විශ්වවිද්‍යාලයෙන් ඇය දේශපාලන විද්‍යාව හැදෑරුවාය. සිය පවුලේ අඩිපාරේ යමින් පයෙතොන්ග්තාර්න් දේශපාලනය මෙන්ම ව්‍යාපාර පිළිබඳව ද උනන්දුවක් දක්වමින් කටයුතු කළාය. ඇගේ පවුලට අයත්, තායිලන්තයේ ඉතා ප්‍රකට දේපළ සමාගමක් වන SC Asset Corporation හි ඇය කැපී පෙනෙන කාර්යභාරයක් කරන තැනැත්තියක ද වූවාය. මේ කාරණා තුළින් ඇය ව්‍යාපාරික මෙන්ම දේශපාලන අනාගතය වෙනුවෙන් සිය මාවත කෙමෙන් ගොඩ නගා ගන්නා ආකාරය පෙනුණි.

පයොතොන්තාර්න් සිය මැතිවරණ කටයුතු අතරතුර

පයෙතොන්ග්තාර්න් අති නවීන විලාසිතා අනුගමනය කරන්නියක ලෙසට ද තායිලන්තය පුරා ප්‍රකටය. ඇතැම් විලාසිතා ජනතාව හඳුන්වන්නේ ඇගේ නමින් වන තරමට ඇය සහ විලාසිතා අතර ඇත්තේ අපූරු සබඳතාවකි. ඇය බටහිර පන්නයට සම්පූර්ණයෙන් නැඹුරු වනවාට වඩා නවීන සහ සාම්ප්‍රදායික විලාසිතාවල එකමුතුවක් අනුගමනය කරන බව පෙනේ. මේ නිසා තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතර ඇය ප්‍රකටව ඇත්තේ සිය උරුමයට ගරු කරන කාන්තාවක ලෙසිනි.

පයොතොන්තාර්න්ගේ නැන්දණිය වූ යිංලුක්

පයෙතොන්ග්තාර්න් අති නවීන විලාසිතා අනුගමනය කරන්නියක ලෙසට ද තායිලන්තය පුරා ප්‍රකටය. ඇතැම් විලාසිතා ජනතාව හඳුන්වන්නේ ඇගේ නමින් වන තරමට ඇය සහ විලාසිතා අතර ඇත්තේ අපූරු සබඳතාවකි. ඇය බටහිර පන්නයට සම්පූර්ණයෙන් නැඹුරු වනවාට වඩා නවීන සහ සාම්ප්‍රදායික විලාසිතාවල එකමුතුවක් අනුගමනය කරන බව පෙනේ. මේ නිසා තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතර ඇය ප්‍රකටව ඇත්තේ සිය උරුමයට ගරු කරන කාන්තාවක ලෙසිනි. කෙසේ නමුත් මාධ්‍යවලින් ඇතැම් අවස්ථාවල දී හුවා දක්වන්නට උත්සාහ ගෙන තිබුණේ ඇගේ මේ උරුමයට ගරු කිරීම හුදෙක් සිය දේශපාලන අනාගතය උදෙසා පාර තනා ගැනීමක් පමණක් ලෙසිනි. එමෙන්ම ඇය අඳින සෑම ඇඳුමක්ම, පළඳින සෑම පැළඳුමක්ම තීරණය කරනු ලබන්නේ ඇය පෞද්ගලිකව සේවය ලබාගන්නා විලාසිතා උපදේශකයෙකුගෙන් බවට දූෂමාන ආරංචියක් පැතිර පවතින අතර එය තවමත් තහවුරු වී නැත.

පයෙතොන්ග්තාර්න්ගේ කෑම බීම සම්බන්ධව කතා කිරීමේ දී පැවසිය යුත්තේ ඇඳුම් පැළඳුම් සේම ඒවායේ ද වැඩි නැඹුරුවක් ඇත්තේ සාම්ප්‍රදායිකත්වය දෙසට බවය. ඇගේ පවුලේ නිජබිම් ප්‍රදේශය වන උතුරු පළාතට ආවේණික කෑම බීමවලට ඇය වැඩි ප්‍රියතාවක් දක්වන බව පෙනේ. ඇය බැංකොක් නුවර අති නවීන අවන්හල්වල, අධික මිල ගණන්වල කෑම බීම ගන්නා අයුරු ද මාධ්‍ය මගින් පළ කොට තිබෙන නමුත් මහජනතාව අතරට එළඹෙමින් වීදි ආහාර ලබා ගන්නා ආකාරය ද දැකිය හැකි විය. ඇය කෙතරම් කාර්යබහුල කාන්තාවක වුව ද, විශේෂ අවස්ථාවල දී සිය පවුලේ කෑම බීම තමාම පිළියෙල කරන බව ද ප්‍රකටය. එය හුදෙක් තමා මහපොළොවේ පය ගසාගෙන සිටින කාන්තාවක බව පෙන්වමින් දේශපාලන අනාගතය සඳහා මාවත ගොඩනගා ගැනීමක් බව මාධ්‍ය මගින් මෙය විවේචනය කොට තිබිණි.

පයෙතොන්ග්තාර්න් පිළිබඳ ජනතාව තුළ ඇත්තේ දෙගෙඩියාවකින් යුක්ත මතයක් බව පෙනෙන්නට තිබේ. සිය පවුලේ අපකීර්තිමත් දේශපාලන අතීතය අතුගා දමා තායිලන්තයට නව දේශපාලන මාවතක් විවර කර දීමට ඇයට හැකි වනු ඇතැයි එක පිරිසක් විශ්වාස කරන අතර තව පිරිසක් පවසන්නේ සිය ගමන ශුද්ධ වූ ආකාරයෙන්, පොළොවේ පය ගස සිටින චරිතයක් ලෙසින් ආරම්භ කළ ද, නොබෝ දිනකින්ම ඇය ද සිය පවුලට ආවේණික වංචා, දූෂණ, අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදා ගැනීම් අනුගමනය කරනු නිසැක බවය.

පයෙතොන්ග්තාර්න් පිළිබඳ ජනතාව තුළ ඇත්තේ දෙගෙඩියාවකින් යුක්ත මතයක් බව පෙනෙන්නට තිබේ. සිය පවුලේ අපකීර්තිමත් දේශපාලන අතීතය අතුගා දමා තායිලන්තයට නව දේශපාලන මාවතක් විවර කර දීමට ඇයට හැකි වනු ඇතැයි එක පිරිසක් විශ්වාස කරන අතර තව පිරිසක් පවසන්නේ සිය ගමන ශුද්ධ වූ ආකාරයෙන්, පොළොවේ පය ගස සිටින චරිතයක් ලෙසින් ආරම්භ කළ ද, නොබෝ දිනකින්ම ඇය ද සිය පවුලට ආවේණික වංචා, දූෂණ, අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදා ගැනීම් අනුගමනය කරනු නිසැක බවය. අනෙක ඇය පසුපස බලයෙන් පහ කරන ලද සිය පියා සිටින බවට ද දූෂමාන ආරංචි පැතිර යමින් පවතී. යහපාලනයක් පවත්වාගෙන යාමට ඇයට අවශ්‍යතාව තිබෙන්නේ යැයි විශ්වාස කළ ද ඇගේ පියා එයට බලපෑම් කරනු ඇති බවට ද මතවාද පැතිර යමින් පවතී.

මේ මතවාද, අදහස්, දේශපාලන පීඩනය, පවුලේ බලපෑම් සියල්ල ඇයට දරා ගත යුතුව තිබේ. සිය පවුලේ පිරිස මෙතෙක් කල් ගමන් කළ අඩිපාරේ ම ගමන් කරමින්, අයහපත් නායිකාවක ලෙස බලයෙන් පහවනවා ද, එසේත් නැත්නම් තායිලන්තයට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් පරමාදර්ශී නායිකාවක බවට පත්වනවා ද යන්න පවතින්නේ සහමුලින්ම ඇය මතය.

තායි රජුගේ රුව ඉදිරියේ නව අගමැතිනිය ලෙස දිවුරුම් දෙන පයොතොන්තාර්න්
අගමැතිවරිය ලෙස දිවුරුම් දෙන්නට රාජකීය ඇඳුමින් සැරසී
සිය සැමියා සමග

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර