මේ වසරේ (2024) ආරම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් වසර අවසානය වන විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අධිපතිවරයා මේ බව කීය.
මේ වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට ආර්ථිකය 4.7% කින් වර්ධනය වී ඇතැයි අධිපතිවරයා කීය. මේ වසරේ පළමු කාර්තුවේදී 5.3%න් වර්ධනය වී තිබිණි.
මේ වසර ආරම්භයේදී මෙරට ආර්ථිකය 3.0% කින් වර්ධනය වනු ඇතැයි ඉලක්ක කො තිබිණි. එය මෙය වන විට සියයට හතර ඉක්මවා යෑම පෙන්නුම් කරනුයේ ඉදිරියේ දී වඩාත් ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව යයි ද අධිපතිවරයා සඳහන් කළේය.
වසර 2022 මුල් කාර්තුවේ සිට අඛණ්ඩව කාර්තු හයක් මෙරට ආර්ථිකය ඍණ අගයකින් වර්ධනය විය. එම ඍණාත්මක තත්ත්වයන්හි පැවැති වර්ධනය ධනාත්මක වීමට ඇරඹියේ වසර 2023 දෙවැනි කාර්තුවේ මුල පටන්ය. මෙලෙස කාර්තුවෙන් කාර්තුව මෙරට ආර්ථිකය ධන වර්ධනයක් අත් කර ගැනීම කෙරෙහි බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලබාදෙන සහයෝගයන් ඉහළ යෑම, පොලී අනුපාත අඩු වීම, උද්ධමනය පහළ අගයක් ගැනීම බලපා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී රටේ නිෂ්පාදන ක්ෂේත්රයේ ඇණවුම්වල වර්ධනයක් පිළිබිඹු වන දර්ශකවල වර්ධනයක්, ණය ප්රසාරණයේ වර්ධනයක්, පොලී අනුපාත සහ උද්ධමනයේ පහළ යෑමේ දිශානතියක් පෙන්නුම් කිරීම අපේක්ෂා කළ හැකි බවද අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණ සමඟ ඉදිරියේදී තවදුරටත් ණය පොලී අනුපාත අඩු වීම, උද්ධමනය සියයට එකට අඩුවෙන් පැවතීම, නව ආයෝජන දිනා ගැනීමට හැකිවීම ආර්ථිකය සාධනීය ලෙස ඉහළ යනු ඇත.