බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය හා සමයාන්තර ධර්ම පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කොට ඇති ප්‍රාමාණික විද්වතකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා (80) රෝගාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ ඒ මහතා 1994 දී මහාචාර්යවරයකු ලෙස උසස් වීමක් ලබා පසුව පශ්චාත් උපාධි මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙසත් කටයුතු කර තිබේ.2001දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා, 2003 දී එම විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට පත් විය. පුවත්පත් සඳහා බෞද්ධ ලිපි, සමාජ මනෝවිද්‍යාත්මක ලිපි රැසක් සැපයූ ඔහු බෞද්ධ පොත්පත් රැසක් ලියා පළ කර තිබේ. බෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්ම, බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, බෞද්ධ චින්තනය, චීන ධම්මපද කතා, බුදු සමය හා සමාජය වැනි පොත් රැසක් ද ලියා පළ කර තිබේ. මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා දරුවන් දෙදෙනකුගේ පියකු වන අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.