සුදු සහල් වැඩි මිලට වික්කාට ලක්ෂ දහයක දඩයක්

දේශීය සුදු කැකුළු සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලකට එරෙහිව ඊයේ විභාග වූ නඩුවක දී ( 27) මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් පනවන ලදී.ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් මහර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව, අදාළ සුපිරි වෙළඳසැල උපරිම සිල්ලර මිල රුපියල් 220 කින් යුතු දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 255ක අධික මිලකට අලෙවි කර ඇති බව තහවුරු වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පැවැත්වූ විභාගයකින් අනතුරුව අධිකරණය විසින් මෙම දඩ මුදල පැනවීමට තීරණය කර ඇත.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය කාලය තුළ සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩු කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන තුනකට අධික දඩ මුදලක් අධිකරණ මගින් පනවා ඇති බවයි. අධිකාරිය විසින් තවදුරටත් අනාවරණය කළේ සහල් අධික මිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මේ වන විට දිවයින පුරා වැටලීම් 140කට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.මෙම වැටලීම් මාලාව තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වන බවද අධිකාරිය අවධාරණය කරයි.

කාලීන පුවත්