සාගරයේ මත්ස්‍යයන් සිටින ස්ථාන හඳුනාගැනීමට නවීන තාක්ෂණය භාවිත කිරීම වත්මන් ලෝකයේ අලුත් දෙයක් නොවේ. චන්ද්‍රිකා දත්ත, සාගර විද්‍යාත්මක පුරෝකථන, ජලයේ උෂ්ණත්වය, හරිතප්රද සාන්ද්‍රණය සහ සාගර ධාරා පිළිබඳ තොරතුරු උපයෝගී කරගනිමින් මත්ස්‍ය අස්වැන්න ලබාගැනීමට වඩාත් සුදුසු මුහුදු ප්‍රදේශ හඳුනාගැනීමේ ක්‍රමවේද ලෝකයේ බොහෝ රටවල භාවිත වේ. ඒ අනුව මත්ස්‍ය සම්පත සොයා ගැනීමට ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම විද්‍යාත්මකව පිළිගත් ක්රමවේදයකි. එහෙත් එවැනි තාක්ෂණයකින් සාගරයේ මත්ස්‍යයන් සිටින නිශ්චිත ස්ථානයක් සෑම විටම නිවැරදිව පෙන්විය හැකියැයි පැවසීම සත්‍යයක් නොවේ. එමඟින් සිදුකරන්නේ පවතින සාගර විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කරමින් මත්ස්‍යයන් වැඩි වශයෙන් එක්රැස් වීමට හිතකර විය හැකි ප්‍රදේශ පුරෝකථනය කිරීම පමණි. එම පුරෝකථන මත ධීවරයාගේ අත්දැකීම්, යාත්‍රාවේ උපකරණ සහ එදින පවතින කාලගුණික හා සාගර තත්ත්ව ද එකතු වූ විට වඩාත් ප්‍රයෝජනවත් තීරණයක් ගත හැකිය. එය හරියට වෛද්‍ය වාර්තා සහ වෛද්‍යවරයා සතු දැනුම්-අවබෝධයන් මත පදනම් ව රෝගීන්ට ප්‍රතිකාර කිරීම වැනි දෙයකි.
මත්ස්‍යයන් සොයාගැනීමේ තාක්ෂණය විවිධ අයුරින් ක්‍රියා කරන්නේ සාගරය එකම ස්වභාවයකින් යුත් ජල කඳක් නොවන නිසා ය. එහි ජලයේ උෂ්ණත්වය, ලවණතාව, ගැඹුර, පෝෂක ද්‍රව්‍ය, දියවැල් සහ ආහාර දාමය අනුව මත්ස්‍ය විශේෂවල ව්‍යාප්තිය වෙනස් වේ. ඇතැම් විශේෂ උෂ්ණත්වය හා ආහාර බහුලත්වය අනුව යම් යම් මුහුදු ප්‍රදේශවලට එක්රැස් වන අතර තවත් විශේෂ දුරස්ථ ප්‍රදේශවලට සංක්‍රමණය වෙති. මෙම ස්වභාවික ක්‍රියාවලිය උපයෝගී කරගෙන මුහුදු ජලයේ මතුපිට උෂ්ණත්වය, හරිතප්රද සාන්ද්‍රණය, සාගර ධාරා සහ සාගර මතුපිට උස වැනි චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කර මත්ස්‍යයන් සිටිය හැකි ප්‍රදේශ පුරෝකථනය කරනු ලැබේ. හරිතප්රද බහුල වීම පමණක් මත්ස්‍යයන් බහුල බවට සෘජු සාක්ෂියක් නොවේ. ඊට වෙනස්ව ධීවර යාත්‍රාවල භාවිත කරන සෝනාර් උපකරණ මඟින් යාත්‍රාව අවට ජලයේ මත්ස්‍ය රංචු හඳුනාගත හැකි වුවද, එමඟින් මුළු සාගරයම පරීක්ෂා කළ නොහැක. ඒ අතර එහි නිරීක්ෂණ පරාසය උපකරණයේ වර්ගය, සංවේදකය සහ සාගර තත්ත්වය අනුව වෙනස් වේ. ඒ අනුව මත්ස්‍යයන් සොයාගැනීමේ යෙදවුමක් යනු මුහුදේ මත්ස්‍යයන් සිටින ස්ථාන සෘජුවම දකින උපකරණයක් නොව, විවිධ විද්‍යාත්මක දත්ත එකතු කර ඒවා විශ්ලේෂණය කිරීමෙන් ධීවරයාට මඟපෙන්වීමක් ලබාදෙන පද්ධතියකි. එහි ප්‍රයෝජනය තීරණය වන්නේ දත්තවල ගුණාත්මකභාවය, යාවත්කාලීන වන වේගය සහ පුරෝකථනවල නිරවද්‍යතාව මත ය.
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට මෙවැනි තාක්ෂණයක් හඳුන්වාදීම අගය කළ යුතු ය. එහෙත් දැනටමත් එම තාක්ෂණය භාවිත කරන ධීවරයන් ලක්ෂයක් සිටින බවත්, එය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කර ඇති බවත් ප්‍රකාශ කරන විට ඒවායේ සත්‍යතාව තහවුරු කළ හැකි දත්ත ඉදිරිපත් කිරීම ද අත්‍යවශ්‍ය ය. ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති සංවාදය වැදගත් වන්නේ එම පසුබිම තුළ ය. ඔහු ගේ ඒ කතාවට පදනම් වනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය කාලයේ ප්‍රකාශ කරනු ලදුව මේ වන විට සමාජ ජාල ක්‍රියාකරුවන්ගේ “බයිට් එකක්” බවට පත් “මාලු ඇප් එකේ” කතාවය. එහෙත් මෙය හුදෙක් ආණ්ඩුවේ දේශපාලන ප්‍රකාශයක් හා විපක්ෂයේ විවේචනයක් අතර පවතින ගැටුමක් ලෙස සලකා බැහැර කළ නොහැකිය. මන්ද, මෙහි එක් පැත්තකින් මෙරට ධීවරයන්ගේ ආදායම, ඉන්ධන වියදම සහ මුහුදේ ගත කරන කාලය සම්බන්ධ ප්‍රායෝගික ගැටලුවක් පවතින අතර අනෙක් පැත්තෙන් මහජන මුදල් රුපියල් බිලියනයක් වැය කිරීම පිළිබඳ වගකීමක් ද ජනතාව සතුව පවතින බැවිනි.
මෙම කරුණ විමසා බැලීමේදී ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) විසින් ප්‍රකාශයට පත් කර ඇති 2025 වාර්ෂික ප්‍රගති වාර්තාව ඉතා වැදගත්ය. එහි සඳහන් වන්නේ ටූනා මත්ස්‍යයන් අල්ලාගැනීමට සුදුසු මුහුදු ප්‍රදේශ පිළිබඳ පුරෝකථන හා උපදෙස් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ය. මෙම වැඩසටහන චන්ද්‍රිකා දත්ත සහ ගෝලීය සාගර ආකෘති උපයෝගී කරගෙන ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන් කහ වරල් ටූනා, බිග්අයි ටූනා සහ ස්කිප්ජැක් ටූනා යන මත්ස්‍ය විශේෂ සඳහා සුදුසු විය හැකි ධීවර ප්‍රදේශ හඳුනාගැනීම මෙහි අරමුණ වී ඇත.
2025 අගෝස්තු 31 වන විට එම වැඩසටහන යටතේ කහ වරල් ටූනා සඳහා පුරෝකථන 84ක්, බිග්අයි ටූනා සඳහා පුරෝකථන 30ක් සහ ස්කිප්ජැක් ටූනා සඳහා පුරෝකථන 72ක් නිකුත් කර තිබේ. මෙම තොරතුරු ධීවරයන් වෙත ලබාදීම සඳහා වට්ස්ඇප් හරහා 1,600ක්, විද්‍යුත් තැපෑල හරහා 380ක් සහ නාරා ෆේස්බුක් පිටුව හරහා අනුගාමිකයන් 2,700ක් වෙත ළඟා වී ඇත. මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුත්තේ මෙම සංඛ්‍යා සියල්ල එකතු කර ධීවරයන් 4,680ක් ලෙස හැඳින්විය නොහැකි බව ය. නමුත් එකම පුද්ගලයා මාධ්‍ය කිහිපයක් භාවිත කළ හැකි අතර ෆේස්බුක් අනුගාමිකයන් සියල්ලම ධීවරයන් ද නොවිය හැකිය. තවත් වැදගත් කරුණක් වන්නේ නාරා ආයතනය මෙම පුරෝකථන තොරතුරු ඩයලොග් ඇක්සිආටා සමාගමේ ‘සයුරු’ ජංගම යෙදවුම සමඟ සම්බන්ධ කර ඇති බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වීම ය. එමඟින් නාරා ආයතනයේ විද්‍යාත්මක පුරෝකථන ධීවරයන් වෙත ජංගම දුරකථන තාක්ෂණය ඔස්සේ ලබාදීමේ පදනමක් දැනටමත් පවතින බව තහවුරු වේ. එහෙත්, එම වාර්තාවෙන් ධීවරයන් ලක්ෂයක් මෙම යෙදවුම සක්‍රියව භාවිත කරන බවක් කෙසේවත් තහවුරු නොවේ. එසේම එම වාර්තාවේ දක්වා ඇති සංඛ්‍යා 2025 අගෝස්තු 31 දිනට අදාළ බැවින් ඒවා 2026 නොවැම්බර් මාසයේ පරිශීලක සංඛ්‍යාව ලෙස ද භාවිත කළ නොහැකිය. මේ අනුව මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව යෙදවුමක් තිබේද නැද්ද යන්න නොව, දැනට ක්‍රියාත්මක පද්ධතියේ සැබෑ පරිශීලක සංඛ්‍යාව සහ එහි කාර්යක්ෂමතාව කුමක්ද යන්නයි.
මෙම තාක්ෂණයේ සැබෑ කාර්යක්ෂමතාව තේරුම් ගැනීමට 2026 අගෝස්තු 9 වැනිදා ද සන්ඩේ මෝර්නින්ග් පුවත්පතේ පළ වූ වාර්තාව විශේෂයෙන් වැදගත් වේ. එම වාර්තාවට අනුව මුහුදේ මත්ස්‍යයන් සොයා යන ධීවර යාත්‍රාවකට කිලෝමීටර් 50ක ස්ථානීය වෙනසක් යනු අමතර ඉන්ධන, කාලය සහ ශ්‍රමය වැය වීමට හේතු විය හැකි තත්ත්වයකි. ඒ අනුව එය එම පුරෝකථන අනුව මුහුදට ගොස් “මාලු අරන් ඒමක්” ලෙස ලඝු කොට දැක්වීම ද විහිළුවක සීමාව නොඉක්මවන්නකි. එහෙත් සියයට 50ත් 60ත් අතර නිරවද්‍යතාවක් තිබීමෙන් පද්ධතිය මුළුමනින්ම ප්‍රයෝජනයක් නැති බව අදහස් නොවේ. එය පුරෝකථනයක් වන බැවින් එහි අරමුණ නිශ්චිත මත්ස්‍ය රංචුවක් සිටින තැන පෙන්වීම නොව, මත්ස්‍යයන් සිටීමට වැඩි ඉඩක් ඇති ප්‍රදේශ සීමා කර පෙන්වීමය. ධීවරයාගේ අත්දැකීම් සමඟ එම තොරතුරු යොදාගත හැකි නම් එය ප්‍රයෝජනවත් විය හැකිය.ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස ප්‍රකාශ කර ඇත්තේ දැනට නාරා ආයතනය පවත්වාගෙන යන මත්ස්‍ය අස්වැන්න ලබාගත හැකි මුහුදු ප්‍රදේශ පුරෝකථනය කිරීමේ පද්ධතියේ නිරවද්‍යතාව සියයට 50ත් 60ත් අතර මට්ටමක පවතින බව ය. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ දැනට භාවිත කරන නොමිලේ ලබාගන්නා චන්ද්‍රිකා දත්තවල අවකාශීය විභේදනය ප්‍රමාණවත් නොවීමයි. එම නිසා පුරෝකථනය කරන ස්ථානයේ හා සැබෑ තත්ත්වයේ දුර විෂමතාව කිලෝමීටර් 50ක් පමණ දක්වා පැවතිය හැකි බව ද වාර්තා කර තිබේ. මෙය සුළු තාක්ෂණික දුර්වලතාවක් ලෙස බැහැර කළ නොහැකිය. මුහුදේ මත්ස්‍යයන් සොයා යන ධීවර යාත්‍රාවකට කිලෝමීටර් 50ක ස්ථානීය වෙනසක් යනු අමතර ඉන්ධන, කාලය සහ ශ්‍රමය වැය වීමට හේතු විය හැකි තත්ත්වයකි. ඒ අනුව එය එම පුරෝකථන අනුව මුහුදට ගොස් “මාලු අරන් ඒමක්” ලෙස ලඝු කොට දැක්වීම ද විහිළුවක සීමාව නොඉක්මවන්නකි. එහෙත් සියයට 50ත් 60ත් අතර නිරවද්‍යතාවක් තිබීමෙන් පද්ධතිය මුළුමනින්ම ප්‍රයෝජනයක් නැති බව අදහස් නොවේ. එය පුරෝකථනයක් වන බැවින් එහි අරමුණ නිශ්චිත මත්ස්‍ය රංචුවක් සිටින තැන පෙන්වීම නොව, මත්ස්‍යයන් සිටීමට වැඩි ඉඩක් ඇති ප්‍රදේශ සීමා කර පෙන්වීමය. ධීවරයාගේ අත්දැකීම් සමඟ එම තොරතුරු යොදාගත හැකි නම් එය ප්‍රයෝජනවත් විය හැකිය.
මෙහි තවත් වැදගත් කරුණක් වන්නේ ඉන්දියානු ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය (INCOIS) සමඟ ඇතිකරගන්නා දත්ත හුවමාරු වැඩපිළිවෙළයි. ඉහත පුවත්පත් වාර්තාවට අනුව INCOIS ආයතනය සිය චන්ද්‍රිකා මඟින් සකස් කරන දත්ත ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට එකඟ වී තිබේ. එමඟින් වඩාත් ඉහළ විභේදනයක් සහිත දත්ත භාවිත කිරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම දත්ත විශාල ප්‍රමාණයක් සැකසීම සඳහා නාරා ආයතනයේ පරිගණක සේවාදායක සහ අනෙකුත් උපකරණ වැඩිදියුණු කිරීමට ද අවධානය යොමු කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. විශේෂයෙන් සැලකිය යුතු තවත් කරුණක් වන්නේ නාරා ආයතනය එම පුරෝකථන දැනට ඩයලොග් සයුරු යෙදවුම සහ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සතියකට තුන් හතර වතාවක් බෙදාහරින බවත්, මෙම කාර්යය සඳහාම විශේෂිත යෙදවුමක් නිර්මාණය කිරීම පිළිබඳව ද සලකා බලමින් සිටින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර තිබීමය. මෙම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සමඟ සසඳා බැලීම වැදගත්ය. මන්ද, දැනට පවතින සයුරු යෙදවුම, එයට සම්බන්ධ කර ඇති නාරා පුරෝකථන සේවාව සහ අලුතින් හඳුන්වාදීමට අපේක්ෂා කරන විශේෂිත මත්ස්‍ය සෙවුම් යෙදවුම යන සියල්ල එකම පද්ධතියක් ලෙස හඳුන්වාදිය හැකිද යන්න පැහැදිලි විය යුතු බැවිනි.
මෙවැනි යෙදවුමක් සාර්ථක කරගැනීමට තාක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ. එය භාවිත කරන ධීවර ප්‍රජාවේ දුරකථන පහසුකම්, තාක්ෂණික දැනුම සහ එවැනි තොරතුරු කෙරෙහි පවතින විශ්වාසය ද වැදගත්ය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් මාතර දිස්ත්‍රික්කයේ නිල්වැල්ල ධීවර වරාය ආශ්‍රිතව සිදුකර ඇති අධ්‍යයනය මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි. එම අධ්‍යයනයට අනුව නිල්වැල්ල ප්‍රදේශයේ ධීවරයන් බොහෝ දෙනෙක් ස්මාර්ට් ජංගම දුරකථනවලට වඩා සාමාන්‍ය ජංගම දුරකථන භාවිත කිරීමට කැමැත්තක් දක්වති. මත්ස්‍යයන් හැසිරවීම, ජලයට නිරාවරණය වීම සහ මුහුදු කටයුතුවලදී ස්මාර්ට් දුරකථන භාවිත කිරීමේ ප්‍රායෝගික අපහසුතා ඊට හේතු වී තිබේ. එමෙන්ම එම ප්‍රදේශයේ ඩිජිටල් යෙදවුම් කිහිපයක් අත්හදා බැලීමේ මට්ටමේ පැවති අතර ඒවා භාවිත කළේ තාක්ෂණයට වැඩි නැඹුරුවක් දක්වන සීමිත පිරිසකි. FAO අධ්‍යයනයේ තවත් වැදගත් නිරීක්ෂණයක් වන්නේ රාජ්‍ය ආයතනවලින් ලබාදෙන දත්ත කෙරෙහි ඇතැම් ධීවරයන් තුළ ප්‍රමාණවත් විශ්වාසයක් නොමැති වීමයි. එම තොරතුරු සකස් කරන්නේ කෙසේද, ඒවා ලබාගන්නේ කොහෙන්ද සහ ඒවා මත පදනම්ව ධීවර තීරණ ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද එහි පෙන්වා දී තිබේ. මෙම අධ්‍යයනයේ විශේෂත්වය වන්නේ ධීවරයන්ට තාක්ෂණය ලබාදීම පමණක් නොව එය ප්‍රායෝගිකව භාවිත කිරීමට අවශ්‍ය පරිසරය ද සකස් කළ යුතු බව පෙන්වා දීමය. එහෙත් FAO අධ්‍යයනය නිල්වැල්ල ප්‍රදේශය ආශ්රිත අධ්‍යයනයක් බැවින් එහි සොයාගැනීම් මුළු ශ්‍රී ලංකාවේම ධීවර ප්‍රජාව පිළිබඳ නිශ්චිත නිගමනයක් ලෙස සැලකිය නොහැකිය. නමුත් අප දන්නා අන්දමට අප රටේ හලාවත හා මීගමුව අතර මුහුදු තීරයේ තත්ත්වයේ ද මීට වැඩි වෙනසක් නැත. එය රටේ අනෙකුත් ධීවර ප්‍රදේශවල ද මෙවැනි අභියෝග තිබේදැයි විමසා බැලීමට වැදගත් පදනමක් සපයයි. එහෙත් බහුතර කතෝලික ධීවර ප්‍රජාවක් වෙසෙන හලාවත හා මීගමුව අතර මුහුදු තීරය සම්බන්ධයෙන් විමසා බැලීමේ ප්‍රවේණිගත හිමිකමක් ඇති කතෝලික පල්ලිය අද ඒ සම්බන්ධයෙන් මුළුමනින්ම නිහඬ වීම ද වෙනම සොයා බැලිය යුතු ඛේදවාචකයකි. නමුදු මෙම වැඩපිළිවෙළේ ප්රතිලාභ පිළිබඳව ද FAO අවධානය යොමු කර තිබේ. විශේෂයෙන් ටූනා මසුන් ඇල්ලීම සඳහා මුහුදේ දින 10ත් 30ත් අතර කාලයක් ගත කරන යාත්‍රාවලට සුදුසු ධීවර ප්‍රදේශ පිළිබඳ තොරතුරු කලින් ලබාදීමෙන් අනවශ්‍ය ලෙස මත්ස්‍යයන් සොයමින් ගත කරන කාලය අඩු කරගැනීමට හැකි බව ඉන් පෙන්වා දී තිබේ. ඒ අනුව මෙවැනි යෙදවුමක සාර්ථකත්වය තීරණය වන්නේ එය බාගත කළ පිරිස කොපමණද යන්නෙන් පමණක් නොවේ. එය භාවිත කිරීමට අවශ්‍ය දැනුම, පහසුකම් හා විශ්වාසය ධීවර ප්‍රජාව තුළ ගොඩනඟා තිබේද යන්න ද විමසා බැලිය යුතුය.
මෙම සංවාදයේදී වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ යෙදවුම භාවිත කරන බව කියන ධීවරයන් ලක්ෂයක සංඛ්‍යාවයි. තාක්ෂණික ව්‍යාපෘතියක පරිශීලක සංඛ්‍යාව ගණනය කිරීමේදී එකිනෙකට වෙනස් කරුණු හතරක් තිබේ. බාගත කිරීම් යනු යෙදවුම දුරකථනවලට බාගත කර ඇති වාර ගණන ය. ලියාපදිංචි පරිශීලකයන් යනු යෙදවුමේ ගිණුම් විවෘත කර ඇති පිරිස පමණි. සක්‍රිය පරිශීලකයන් යනු නිශ්චිත කාලයක් තුළ යෙදවුම සැබෑ ලෙස භාවිත කළ පිරිසය. තහවුරු කළ පරිශීලකයන් යනු සැබෑ අනන්‍යතාව තහවුරු කරගත් පුද්ගලයන්ය. මෙම සංඛ්‍යා එකිනෙකට සමාන නොවේ. යෙදවුමක් ලක්ෂයක් වාරයක් බාගත කර තිබීමෙන් එය ලක්ෂයක් දෙනා සක්‍රියව භාවිත කරන බව පැවසීම බොළඳ කතාවකි. එක් පුද්ගලයකු දුරකථන කිහිපයකින් හෝ ගිණුම් කිහිපයකින් ලියාපදිංචි වී සිටිය හැකිය. එබැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ ලක්ෂයක පරිශීලක සංඛ්‍යාව සනාථ කිරීමට නම් එම සංඛ්‍යාව ගණනය කළ ආකාරය, ලියාපදිංචි පරිශීලකයන්ගේ සංඛ්‍යාව, මාසික සක්‍රිය පරිශීලකයන්ගේ සංඛ්‍යාව සහ සැබෑ ධීවරයන් ලෙස හඳුනාගත් පිරිස පිළිබඳ දත්ත ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම යෙදවුම භාවිත කරන බව කියන පිරිසෙන් කී දෙනකුට එහි පුරෝකථන ප්‍රයෝජනවත් වී තිබේද යන්න ද වෙනම මැනිය යුතුය.
මෙම සිද්ධියේ වඩාත්ම වැදගත් හා මහජන අවධානය යොමු විය යුතු කොටස වන්නේ යෙදවුම වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයයි. 2026 නොවැම්බර් 13 වැනිදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කළ පරිදි, 2027 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් හෙවත් රුපියල් බිලියනයක් මෙම යෙදවුම වැඩිදියුණු කිරීම සඳහා වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. දැනට පවතින පද්ධතියේ දත්ත දින දෙක තුනක කාලයකට සීමා වන බවත්, එය වැඩිදියුණු කිරීම සඳහා විදේශීය සමාගම් සහ දේශීය සේවා සපයන්නන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඔහු සඳහන් කර ඇත.
එහෙත් මෙහිදී තවත් වැදගත් කරුණක් හෙළිදරව් කළ යුතුය. 2027 අයවැය ලේඛනයේ ධීවර සම්පත් කළමනාකරණය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමක් සඳහන් වේ. එම මුදල සාගර සමීක්ෂණ, ජලජ වාසස්ථාන සිතියම්ගත කිරීම, මත්ස්‍ය සම්පත් තක්සේරු කිරීම, නිරීක්ෂණ දත්ත රැස් කිරීම, රසායනාගාර විශ්ලේෂණ සහ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගැනීමට යෝජනා කර තිබේ. එහෙත් අයවැය ලේඛනයේ එම රුපියල් බිලියනය විශේෂයෙන්ම මත්ස්‍ය සෙවුම් ජංගම යෙදවුමක් වැඩිදියුණු කිරීම සඳහා වෙන් කළ බවක් සඳහන් නොවේ. එබැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ යෙදවුම සඳහා වන රුපියල් බිලියනය සහ අයවැය ලේඛනයේ සඳහන් ධීවර සම්පත් කළමනාකරණය සඳහා වන රුපියල් බිලියනය එකම මුදල් වෙන් කිරීමක්ද, නැතහොත් වෙනම ව්‍යාපෘති දෙකක්ද යන්න පැහැදිලි කරගත යුතුය. මෙය වැදගත් වෙනසකි. අයවැය යෝජනාවක ඇති මුදල් වෙන් කිරීමක් සහ විශේෂිත ජංගම යෙදවුමක් සඳහා අනුමත කළ ව්‍යාපෘති ඇස්තමේන්තුවක් එකම දෙයක් නොවේ. එබැවින් අදාළ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුය. විශේෂයෙන්ම රුපියල් බිලියනයක වියදම සාධාරණීකරණය කිරීම සඳහා දැනට පවතින යෙදවුමේ නිල නාමය, එහි හිමිකාරීත්වය සහ පරිපාලන වගකීම දරන්නේ කුමන ආයතනයද, ධීවරයන් ලක්ෂයක් භාවිත කරන බව තහවුරු කරන නිල පරිශීලක දත්ත තිබේද, එම පිරිසෙන් දිනපතා සහ මාසිකව සක්‍රියව යෙදවුම භාවිත කරන සංඛ්‍යාව කොපමණද, පුරෝකථනවල නිරවද්‍යතාව කොපමණද සහ එය ස්වාධීනව පරීක්ෂා කර තිබේද යන්න පමණක් නොව එම යෙදවුම භාවිත කිරීමෙන් ධීවරයන්ගේ ඉන්ධන වියදම, මුහුදේ ගත කරන කාලය සහ මත්ස්‍ය අස්වැන්නෙහි ඇති වී තිබෙන වෙනස කුමක්ද, රුපියල් බිලියනයකින් සිදුකිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු මොනවාද, ඒ සඳහා වන වියදම් ඇස්තමේන්තුව, තාක්ෂණික පිරිවිතර සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කුමක්ද, සහ විදේශීය සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවක නිශ්චිත තාක්ෂණික විසඳුමක් තෝරාගෙන තිබේද යන්න ද මහජනතාවට හෙළි කිරීම වැදගත්ය. මෙවැනි ප්‍රශ්න මතු කිරීම ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කිරීමක් නොවේ. මහජන මුදල් යොදා සිදුකරන ව්‍යාපෘතියක විනිවිදභාවය තහවුරු කිරීමකි.
මෙම සංවාදයේදී අමතක නොකළ යුතු තවත් කරුණක් තිබේ. මෙරට ධීවර කර්මාන්තය යනු හුදෙක් මත්ස්‍යයන් අල්ලා වෙළෙඳපොළට සැපයීමේ ව්‍යාපාරයක් නොවේ. එය දහස් ගණනක පවුල්වල ජීවනෝපාය මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව සමඟ ද බැඳී පවතින ක්ෂේත්රයකි. ධීවරයකු මුහුදට යන සෑම අවස්ථාවකම ඉන්ධන, ආහාර, අයිස්, යාත්‍රා නඩත්තුව සහ සේවක වැටුප් ඇතුළු වියදම් රැසක් දැරීමට සිදුවේ. ඇතැම් විට දින ගණනක් මුහුදේ ගත කළ ද අපේක්ෂිත මත්ස්‍ය අස්වැන්න නොලැබේ. එවැනි අවස්ථාවල ඔහුට සිදුවන පාඩුව සුළු පටු නොවේ. ඉන් ඉච්ඡාභංගත්වයට පත් ධීවරයන් සේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද අපට කොතෙකුත් හමු වී තිබේ. නමුදු මත්ස්‍ය සම්පත ඇති හැකි ප්‍රදේශ පිළිබඳ කල්තියා විද්‍යාත්මක තොරතුරු ලබාදිය හැකි නම් මෙම තත්ත්වය යම් ප්‍රමාණයකට වෙනස් කළ හැකිය. එමඟින් අනවශ්‍ය ලෙස මුහුදේ සැරිසැරීම අවම කිරීමටත්, ඉන්ධන පිරිවැය අඩු කිරීමටත්, ධීවර කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් හැකියාව තිබේ. එහෙත් මෙහිදී තවත් වැදගත් අංගයක් එකතු කළ යුතුය. මත්ස්‍ය සම්පත සොයාගැනීමේ තාක්ෂණය කාලගුණ හා මුහුදු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම් සඳහා ආදේශකයක් නොවේ. මත්ස්‍යයන් සිටිය හැකි ප්‍රදේශයක් පුරෝකථනය කළ පමණින් එම මුහුදු ප්‍රදේශය ධීවර කටයුතු සඳහා ආරක්ෂිත යැයි තීරණය කළ නොහැකි ය. එබැවින් එවැනි යෙදවුමක් කාලගුණ හා සාගර ආරක්ෂණ තොරතුරු සමඟ ද සම්බන්ධ කළ හැකි නම් එහි ප්‍රයෝජනය තවත් ඉහළ නැංවිය හැකිය. එසේම කුඩා බෝට්ටු භාවිත කරන ධීවරයන්ටත්, ගැඹුරු මුහුදේ බහු දින යාත්‍රා භාවිත කරන ධීවරයන්ටත් එකම තාක්ෂණික විසඳුම ප්‍රමාණවත් නොවිය හැකිය. ඔවුන්ගේ අවශ්‍යතා අනුව භාවිතයට පහසු විවිධ සේවා සැපයීම ද වැදගත්ය.
මේ සමස්ත කරුණු විමසා බැලීමේදී පැහැදිලි වන දෙයක් තිබේ. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න ලබාගත හැකි මුහුදු ප්‍රදේශ පුරෝකථනය කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් පවතින බව සත්‍යයකි. නාරා ආයතනයේ 2025 වාර්තාව එය තහවුරු කරයි. එම වැඩපිළිවෙළ ඩයලොග් සයුරු යෙදවුම සමඟ ද සම්බන්ධ කර තිබේ. එසේම දැනට පවතින පුරෝකථන පද්ධතියේ නිරවද්‍යතාව සියයට 50ත් 60ත් අතර බවත්, එය වැඩිදියුණු කිරීමට INCOIS ආයතනයේ දත්ත හා නව පරිගණක පහසුකම් ලබාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශ මත පදනම් වූ වාර්තාවෙන් හෙළි වේ. එහෙත් ධීවරයන් ලක්ෂයක් මෙම යෙදවුම සක්‍රියව භාවිත කරන බවට ප්‍රමාණවත් නිල සංඛ්‍යාලේඛන මේ දක්වා ප්‍රසිද්ධියේ ඉදිරිපත් වී නොමැත. මෙහිදී ආණ්ඩුවේ වගකීම වන්නේ පරිශීලක සංඛ්‍යාව, යෙදවුමේ ක්‍රියාකාරීත්වය, පුරෝකථනවල නිරවද්‍යතාව සහ ධීවරයන්ට ලැබී ඇති ආර්ථික ප්රතිලාභ පිළිබඳ නිල දත්ත ඉදිරිපත් කිරීමය. විපක්ෂයේ වගකීම වන්නේ එම තොරතුරු විමසා බලා අවශ්‍ය විවේචන ඉදිරිපත් කිරීම ය. මාධ්‍යයේ වගකීම වන්නේ දෙපාර්ශ්වයේ ප්‍රකාශ ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කිරීම වෙනුවට ඒවායේ සත්‍යතාව පරීක්ෂා කිරීමය. අවසානයේ අප විමසිය යුත්තේ මත්ස්‍යයන් සොයාගැනීමේ යෙදවුමක් තිබේද නැද්ද යන්න පමණක් නොවේ. එය ඇත්ත වශයෙන්ම ධීවරයාට කොතරම් ප්‍රයෝජනවත් වී තිබේද යන්නයි. රුපියල් බිලියනයක් යනු රටේ ජනතාවගේ මුදලකි. එම මුදලින් නිර්මාණය කරන හෝ වැඩිදියුණු කරන තාක්ෂණික පද්ධතියක් ධීවරයාගේ ජීවිතයට සැබෑ වෙනසක් ඇති කළ යුතුය. එය ඉන්ධන වියදම අඩු කරන්නේද, අස්වැන්න වැඩි කරන්නේද, මුහුදේ ගත කරන කාලය අඩු කරන්නේද යන්න සංඛ්‍යාලේඛන මඟින් පෙන්විය යුතුය. තාක්ෂණය පිළිබඳ දේශපාලන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ එහි විද්‍යාත්මක පදනමයි. ව්‍යාපෘතියක වටිනාකම තීරණය වන්නේ එය භාවිත කරන බව කියන පිරිසගේ සංඛ්‍යාවෙන් නොව, එමඟින් ජනතාවට ලැබෙන සැබෑ ප්රතිලාභයෙනි. මේ වන විට රටම කතා කරන මාලු ඇප් එකේ කතාව තිරසාර සංවර්ධන මංපෙතට යොමු වන ප්‍රායෝගික යථාර්ථයක් වනුයේ එවිටය.
රීටා ජෙනට් පෙරේරා.