ලාංකේය සිනමාව යළිත් ජාත්‍යන්තර අවධානයට ලක් කරමින් ප්‍රවීණ අධ්යක්ෂ රොහාන් වැලිවිට මහතාගේ දෙවන සිනමා නිර්මාණය වන ‘මම තනියම’ (I Am Alone) චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල තුනකදී සම්මාන හා ඇගයීම් හිමිකරගෙන තිබේ.දේශීය සිනමා කර්මාන්තය ආර්ථික හා නිෂ්පාදන අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලාංකේය නිර්මාණයක් මෙලෙස විදේශීය සිනමා උළෙලවලදී ඇගයීමට ලක්වීම විශේෂත්වයකි.මෙම චිත්‍රපටය දිනාගත් සම්මාන හා ඇගයීම් තුන මෙසේය.
-
ඉන්දියාවේ Chicago International Film Festival: හොඳම අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපටය (Best International Feature Film).
-
ස්පාඤ්ඤයේ 14 Days to Eternity සිනමා උළෙල: විශිෂ්ටතම ආදර කතා වෘත්තාන්ත චිත්‍රපටය (Best Romance Feature Film).
-
රුමේනියාවේ Cinematic European සිනමා උළෙල: විශිෂ්ටතම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා ගෞරවනීය ඇගයීම (Honorable Mention).
ඉන්දියාවේ සිනමා උළෙලේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ නිල ප්‍රතිඵල ලේඛනයේද ‘I Am Alone’ චිත්‍රපටය සහ එහි අධ්යක්ෂවරයා ලෙස රොහාන් වැලිවිට මහතාගේ නම සඳහන් වේ.‘මම තනියම’ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය හේතුවෙන් අවතැන්වූ ජනතාවගේ ජීවිත අරගලයයි.යුද්ධය නිසා තමන් සතු සියල්ල අහිමි කරගත් තරුණයකුගේ සහ තරුණියකගේ ජීවිත අත්දැකීම්, ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒ අතර ගොඩනැඟෙන ආදර සම්බන්ධතාව මෙම චිත්‍රපටයෙන් සංවේදීව නිරූපණය කෙරේ.යුද්ධය යනු හුදෙක් ජීවිත හා දේපළ විනාශ කරන සිදුවීමක් පමණක් නොව, පරම්පරා ගණනාවක මානසික හා සමාජීය ජීවිත කෙරෙහි බලපෑම් ඇති කරන මානුෂීය ඛේදවාචකයක් බව මෙම සිනමා නිර්මාණය ඔස්සේ ප්‍රකාශ කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ කර තිබේචමීර ලියනගේ සහ දුමී වන්නිආරච්චි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. නෙතලි නානායක්කාර, නිමල් පල්ලෙවත්ත, කුමාර කරුණානන්ද, ගාමිණී ජයලත්, සුදර්ශි ගැලනිගම, දිලුක්ෂි විතාරණ, ජගත් ආනන්ද, සුලෝචනා ඉසුරින්දි සහ කුමාර වඳුරැස්ස ඇතුළු රංගන ශිල්පීහු සෙසු චරිත සඳහා දායක වෙති.චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනය චන්දන සමරසේකරගෙනි. කැමරා අධ්‍යක්ෂණය ත්‍රිශූල දීප තඹවිට විසින් සිදුකර ඇති අතර කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණය චන්දන පීරිස් හා දීප්ති වීරසූරිය විසිනි.සංස්කරණය සහ වර්ණ සංයෝජනය අනූෂ ජයවර්ධන හා ආනන්ද බණ්ඩාරගෙනි. අංග රචනය සහ ඇඳුම් නිර්මාණය සම්පත් රණසිංහ හා අනෝමා වැලිවිට විසින් සිදුකර තිබේ. සංගීතය, ගීත රචනය සහ ගායනය සඳහා නවරත්න ගමගේ, අජිත් ගලප්පත්ති සහ සමිතා මුදුන්කොටුව දායක වී සිටිති.නුවන් වැලිවිට විධායක නිෂ්පාදනයෙන් එක්ව ඇති මෙම චිත්‍රපටය මාර්ක් ප්‍රනාන්දු සහ රාජිත මනරම්ගේ නිෂ්පාදනයකි.රොහාන් වැලිවිට මීට පෙර ටෙලිනාට්‍ය හා සිනමා ක්ෂේත්රයේ නිර්මාණ කටයුතුවල නිරත වූ අධ්යක්ෂවරයෙකි. ඔහුගේ ‘සුසීමා’ ටෙලිනාට්‍ය නිර්මාණය ද ඔහුගේ කලා දිවියේ කැපී පෙනෙන නිර්මාණයකි.මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය වැනි සංවේදී සමාජීය අත්දැකීමක් ආදරය සහ මානුෂීය සබඳතා ඔස්සේ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමට මෙම නිර්මාණය සමත්වීමයි.ජාත්‍යන්තර සිනමා උළෙලවලින් ලැබුණු මෙම ඇගයීම් තුන රොහාන් වැලිවිට ඇතුළු නිර්මාණ කණ්ඩායමට පමණක් නොව, ශ්‍රී ලාංකේය සිනමාවේ ජාත්‍යන්තර ගමනට ද වැදගත් දිරිගැන්වීමක් වනු ඇත.