
සරල, චාම් හා නිහතමානී පැවතුම් නිසා ලොව බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කැතරින්, හෙවත් කේට් මිඩ්ල්ටන්, 2024 වසරේදී තම ජීවිතයේ අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දුන්නාය. අනාගත බ්‍රිතාන්‍ය රජු වන විලියම් කුමරුගේ බිරිඳත්, ජෝර්ජ්, ෂාලට් සහ ලුවී යන දරුවන් තිදෙනාගේ මවත් වන ඇයට පිළිකා රෝගයක් වැළඳී ඇති බව එම වසරේදී හඳුනාගැනිණි.
රාජකීය වගකීම්, පවුල් ජීවිතය සහ නොනවතින මහජන අවධානය මැද ජීවත් වූ ඇයට, එම රෝග විනිශ්චයත් සමඟ තම ජීවිතය දෙස අලුතින් බැලීමට සිදු විය. දැන් ඇය එම අත්දැකීම පිළිබඳ මෙතෙක් හෙළි නොකළ සංවේදී තොරතුරු රැසක් ලෝකය සමඟ බෙදාගැනීමට සූදානම් වන්නීය. ඒ, හේල් විත් ද ප්‍රින්සස් ඔෆ් වේල්ස් (Hale with the Princess of Wales) නමින් නිර්මාණය වූ නව වාර්තා චිත්‍රපටය ඔස්සේය. මිනිත්තු 30ක් පමණ දිවෙන මෙම වාර්තා චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පසුගිය නොවැම්බර් 21 වැනිදා නිකුත් විය. ඒ සමඟම එය ලොව පුරා මාධ්‍ය හා සමාජ ජාල තුළ දැඩි අවධානයට ලක් විය.
ඉකුත් කාලය හා සම්බන්ධ කේට් කුමරිය සම්බන්ධ සිදුවීම් දාමය මෙසේ පෙළගැස්විය හැකිය.
2024 ජනවාරි මාසයේදී ඇය ප්‍රධාන උදර ශල්‍යකර්මයකට භාජනය වූවාය. ශල්‍යකර්මයෙන් පසු සිදු කළ පටක පරීක්ෂණවලදී ඇයට පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය විය.
2024 මාර්තු මාසයේදී තමා පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටින බව කේට් කුමරිය ප්‍රසිද්ධියේ හෙළි කළාය. ඒ අනුව ඇය පිළිකා සෛල මැඬලීම සඳහා රසායනික චිකිත්සාවට (කීමොතෙරපි / Chemotherapy) යොමු වූවාය. එහෙත් තමාට වැළඳී ඇති නිශ්චිත පිළිකා වර්ගය මෙතෙක් ප්‍රසිද්ධියේ හෙළි කර නැත.
2024 සැප්තැම්බර් මාසයේදී රසායනික චිකිත්සක ප්‍රතිකාර අවසන් කළ බව ඇය නිවේදනය කළාය. 2025 ජනවාරි මාසයේදී තම පිළිකාව සමනය වී ඇති බව, එනම් රෝගය දැනට පාලනය වී ඇති තත්ත්වයකට පැමිණ ඇති බව ප්‍රකාශ කළාය. ඉන් අනතුරුව ක්‍රමයෙන් රාජකීය හා පොදු කටයුතු සඳහා නැවත පැමිණීම ආරම්භ කළාය.
හේල් විත් ද ප්‍රින්සස් ඔෆ් වේල්ස් (Hale with the Princess of Wales) වාර්තා චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයේ වඩාත් සංවේදී අවස්ථාවක් වන්නේ පිළිකා රෝග විනිශ්චයක් පුද්ගලයකුගේ ජීවිතයට ඇති කරන බලපෑම පිළිබඳ කේට් කුමරියගේ අදහසයි.

“පිළිකාව ඔබව වෙනස් කරනවා. එය ඔබේ ශරීරය වෙනස් කරනවා. ශාරීරිකව ඔබව වෙනස් කරනවා. නමුත් පිළිකා රෝග විනිශ්චයක් ඔබ තුළ ඇති කරන වෙනස ඊට වඩා බොහෝ ගැඹුරුයි.”
මෙම වදන් තුළින් ඇය පෙන්වා දෙන්නේ පිළිකාව ශරීරයේ එක් කොටසකට පමණක් සීමා වූ රෝගයක් නොවන බව ය. එය පුද්ගලයකුගේ සිතුවිලි, හැඟීම්, අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහ ජීවිතය දෙස බලන ආකාරය ද වෙනස් කළ හැකි අත්දැකීමකි.
රෝගය හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර ලබා සුවය ලැබීම පමණක් නොව, ඒ සමඟ ඇතිවන බිය, අවිනිශ්චිතතාව සහ මානසික පීඩනය ද රෝගියාගේ ජීවිතයට බලපායි. ඇතැම් විට ප්‍රතිකාර අවසන් වුවද, රෝගය නැවත ඇති වේද යන සැකයත්, පෙර පැවති ජීවිතයට යළි හැඩගැසීමේ අභියෝගයත් දිගටම පැවතිය හැකිය.
පිළිකාවෙන් සුවය ලැබීම යනු ප්‍රතිකාර අවසන් වූ දිනයෙන්ම නිම වන ක්‍රියාවලියක් නොවේ. ශාරීරික ශක්තිය යළි ගොඩනඟා ගැනීම, මානසික සුවතාව ඇති කරගැනීම සහ පවුලේ හා සමාජයේ සාමාන්‍ය ජීවිතයට නැවත හැඩගැසීම ද එයට ඇතුළත් වේ.

කේට් කුමරිය ඒ පිළිබඳව මෙසේ පවසන්නීය.
“සුවය ලැබීම යනු ගමනක්. ඔබ වරක් දැන සිටි දේවල් සමඟ යළි සම්බන්ධ වන්නේ කෙසේද, අවිනිශ්චිතතාව මධ්‍යයේ වුවද බලාපොරොත්තුවක් සහ සතුටක් සොයාගන්නේ කෙසේද යන්න ඊට අයත් වේ.”
මෙහි ඇත්තේ රෝගය සමනය වීමෙන් පසුව වුවද පුද්ගලයකුට තම ජීවිතය අලුතින් ගොඩනඟා ගැනීමට සිදුවන බව පිළිබඳ අර්ථවත් පණිවුඩයකි.
වාර්තා චිත්‍රපටයේ වඩාත් සංවේදී අවස්ථාවක් වන්නේ කේට් කුමරිය තම බාල සොහොයුරා වන ජේම්ස් මිඩ්ල්ටන් සමඟ සිදු කරන සංවාදයයි.
පිළිකා ප්‍රතිකාර අවසන් කරන ඇතැම් රෝගීන්, තම සුවය සැමරීම සඳහා ලන්ඩනයේ පිහිටි රෝයල් මාස්ඩන් රෝහලෙන් පිටව යන අවස්ථාවේදී සීනුවක් නාද කිරීමේ සම්ප්රදායක් පවතී. එහෙත් තමන් එසේ සීනුව නාද නොකළ බව කේට් කුමරිය එහිදී හෙළි කරයි.
“රෝහලෙන් පිටව යන විට ඔබ සීනුව නාද කරනවා නේද?” යැයි ජේම්ස් විමසූ විට,
“ඔව්, නමුත් මම සීනුව නාද කළේ නැහැ,” යැයි ඇය පිළිතුරු දෙයි.
එවිට ජේම්ස් පවසන්නේ,
“එහෙනම් සමහර විට මේ කඳු නැගීම තමයි ඔබේ සීනුව නාද කිරීම,” යනුවෙනි.
පිළිකා ප්‍රතිකාර අවසන් කිරීම සංකේතවත් කරමින් සීනුවක් නාද කිරීම වෙනුවට, තම ශාරීරික හා මානසික ශක්තිය යළි සොයාගැනීම සඳහා කඳු තරණය කිරීම තෝරාගැනීම තුළ, ප්‍රතිකාරයෙන් පසු ජීවිතය යළි අත්පත් කරගැනීමේ ගැඹුරු සංකේතාර්ථයක් ගැබ් වී ඇත.
2026 ජූනි මාසයේදී කේට් කුමරිය පැය 24ක් ඇතුළත බ්‍රිතාන්‍යයේ රටවල් තුනෙහි පිහිටි උසම කඳු මුදුන් තුන තරණය කිරීමේ ජාතික ‘ත්‍රී පීක්ස් චැලෙන්ජ්’ (Three Peaks Challenge) අභියෝගයට එක් වූවාය.
මෙම අභියෝගයට ස්කොට්ලන්තයේ බෙන් නෙවිස් (Ben Nevis), එංගලන්තයේ ස්කැෆෙල් පයික් (Scafell Pike) සහ වේල්සයේ ඉයර් ව්යද්වා (Yr Wyddfa) යන කඳු මුදුන් තරණය කිරීම ඇතුළත් වේ. මෙය තවදුරටත් තමන් ගිලන් යහනකට කොටු නොවන බව කියා පෑමකි.
එමෙන්ම මෙම අභියෝගය ඔස්සේ ඇය පෙන්වා දෙන්නේ පිළිකා රෝග විනිශ්චයකින් පසු ජීවිතය නතර නොවන බවය. එය යළි ආරම්භ කළ හැකි, නව අරමුණු සොයා යා හැකි සහ තමන් තුළ ඇති ශක්තිය නැවත හඳුනාගත හැකි ගමනකි.
මෙම වාර්තා චිත්‍රපටය තුළින් ගවේෂණය කෙරෙන්නේ එම අභියෝගයට ඇය මුහුණ දුන් ආකාරය පමණක් නොවේ. පිළිකාවේ චිත්තවේගීය හා ශාරීරික බලපෑම්, සුවය ලැබීමේ ක්‍රියාවලිය, පරිපූර්ණ සුවතාව (Holistic Healing) සහ බරපතළ රෝගාබාධවලට මුහුණ දෙන අනෙකුත් පුද්ගලයන් සමඟ බලාපොරොත්තුව හා සහයෝගය සොයාගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වේ.
පරිපූර්ණ සුවතාව යනු ශරීරය පමණක් නොව, පුද්ගලයාගේ මානසික, චිත්තවේගීය හා සමාජීය යහපැවැත්ම ද සැලකිල්ලට ගන්නා ප්රවේශයකි. බරපතළ රෝගයකින් පසු යළි ජීවිතයට හැඩගැසීමේදී මෙම සියලු අංශවලට අවධානය යොමු කිරීම වැදගත් බව කුමරියගේ අත්දැකීමෙන් පැහැදිලි වේ.
තවද, මෙම වාර්තා චිත්‍රපටය බෙදාහැරීමෙන් ලැබෙන ආදායම, ඇය ප්‍රතිකාර ලැබූ රෝයල් මාස්ඩන් රෝහලට සහාය දක්වන ද රෝයල් මාස්ඩන් කැන්සර් චැරිටි (The Royal Marsden Cancer Charity) වෙත බැර කෙරේ.
හේල් විත් ද ප්‍රින්සස් ඔෆ් වේල්ස් (Hale with the Princess of Wales) වාර්තා චිත්‍රපටය රටවල් කිහිපයක විකාශය වීමට නියමිතය.
එක්සත් රාජධානිය: 2026 නොවැම්බර් 29 වැනිදා බීබීසී වන් (BBC One) සහ බීබීසී අයිප්ලේයර් (BBC iPlayer) ඔස්සේ.
එක්සත් ජනපදය: 2026 නොවැම්බර් 30 වැනිදා එන්බීසී යුනිවර්සල් (NBCUniversal) ඔස්සේ.
ඕස්ට්‍රේලියාව: 2026 දෙසැම්බර් 1 වැනිදා චැනල් 9 (Channel 9) සහ 9නව් (9Now) ඔස්සේ.
කැනඩාව: 2026 දෙසැම්බර් 7 වැනිදා සීටීවී (CTV) සහ නූවෝ (Noovo) ඔස්සේ.
එක්සත් රාජධානියේ බීබීසී අයිප්ලේයර් (BBC iPlayer) ඔස්සේ එදින දහවල් 12.00 සිට ද, බීබීසී වන් (BBC One) නාලිකාව ඔස්සේ සවස 6.40ට ද වාර්තා චිත්‍රපටය නැරඹීමට හැකි වනු ඇත.
කේට් කුමරියගේ මෙම වාර්තා චිත්‍රපටය රාජකීය ජීවිතය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය පිළිකාවෙන් පසු ජීවිතය, සුවය ලැබීමේ අසම්පූර්ණ හා දුෂ්කර ගමන සහ සොබාදහම, පවුල හා බලාපොරොත්තුව තුළින් යළි ජීවිතය සොයාගැනීම පිළිබඳ අතිශය සංවේදී කතාවකි.

පිළිකාවක් වැළඳීම යනු පුද්ගලයකුගේ ජීවිතයේ එක් අඳුරු පරිච්ඡේදයක් විය හැකිය. එහෙත් එම පරිච්ඡේදය අවසන් වූ පසු ජීවිතය යළි ආරම්භ කළ හැකි බව ද කේට් කුමරියගේ අත්දැකීම පෙන්වා දෙයි.
සුවය ලැබීම යනු අතීතයට සම්පූර්ණයෙන්ම ආපසු යාම නොව, අලුත් ජීවිතයකට අලුත් අර්ථයක් සොයාගැනීම විය හැකිය. බලාපොරොත්තුව, පවුලේ ආදරය, සොබාදහම සහ අන්‍යයන්ගේ සහයෝගය ඒ සඳහා ශක්තිය සපයන බව ඇයගේ කතාව අපට සිහිපත් කරයි.
පූර්ව ප්රචාරක පටය
ඒ.ජී. රේණුකා දමයන්ති