ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් Home Alone චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයක්

කල්කින්ගේ බිරිඳ
කල්කින්ගේ බිරිඳ

Home Alone චිත්‍රපට නවසිය අනූ ගණන්වල බටහිර චිත්‍රපට නැරඹූ බොහෝ සිනමාලෝලීන් තුළ මහත් විනෝදාස්වාදයක් ඇති කළ චිත්‍රපට පෙලක් විය. මේ චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වූයේ 1990 වසරේ යි. දෙමව්පියන්ට සිදු වන අතපසු වීමක් නිසා නිවසේ තනිවන්නට සිද්ධවන කෙවින් නැමැති කුඩා දරුවකු එහි ප්‍රධාන චරිතය විය. චිත්‍රපටය දිග හැරෙන්නේ නිවසට ඇතුල්වන කොල්ලකරුවන් දෙදෙනෙකු පලවා හරින්නට විවිධ උගුල් අටවමින් කෙවින් දරණ අපූරු, හාස්‍යොත්පාදක උත්සාහය ඔස්සේ ය.

Home Alone පළමු චිත්‍රපටය ලැබූ අසීමිත ජනප්‍රියත්වය නිසාම ඉන්පසු එවැනි තවත් චිත්‍රපට කිහිපයක් නිර්මාණය විය. මේ අතරින් පළමු සහ දෙවැනි චිත්‍රපටවල කෙවින් ගේ චරිතය නිරූපනය කළේ මැකෝලේ කල්කින් නැමැති නළුවා යි. ඔහු ද සිය රංගනය තුළින් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට පාත්‍ර වූයේය. පළමු චිත්‍රපටයේ රඟපාද්දී ඔහු පසුවූයේ 10 වැනි වියේ යි. 1992 වසරේ තිරගත වූ Home Alone 2 චිත්‍රපටයෙන් පසු කල්කින් එම චිත්‍රපට මාලාවට සම්බන්ධ වූයේ නැත.

කෙසේ හෝ වේවා, Home Alone 2 තිරගත වී වසර 34 කට පසු මේ දිනවල නැවතත් Home Alone ගැනත් , කල්කින් ගැනත් මාධ්‍ය තුළ ලොකු අවධානයක් යොමු වන්නට පටන් ගෙන තිබේ. ඒ, මෙම චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයකින් කල්කින් නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට එන්නට සූදානම් වන බවට තොරතුරු පළ වීමත් සමග ය. Home Alone මුල් චිත්‍රපටවලින් ආස්වාදයක් ලැබූ ප්‍රේක්ෂකයන්ට මේ ආරංචිය අතීතකාමී රසයක් ගෙන එනවාට සැකයක් නැත.

කල්කින් ගේ වයස මේ වනවිට අවුරුදු 46 කි. ඒ නිසා අලුත් චිත්‍රපටයේ කතාව ඊට ගැලපෙන ආකාරයෙන් ගොඩනගා ඇති බව වාර්තා වේ. මෙම කතාව යෝජනා කර ඇත්තේ කල්කින්ම බව ද මාධ්‍ය සඳහන් කර තිබේ.

Home Alone ට පසුබිම් වූ නිවස
Home Alone ට පසුබිම් වූ නිවස

වාර්තා වන ආකාරයට මේ චිත්‍රපටය තාත්තා කෙනෙකු සහ පුතෙකු අතර හුටපටයක් කේන්ද්‍ර කර ගත්තකි. මුල් චිත්‍රපටවල කුඩා දරුවකු වූ කෙවින් මේ චිත්‍රපටයේ තාත්තා කෙනෙකි. ඔහු සිය පුතාත් හදාවඩා ගනිමින් ජීවත් වෙයි. ඔහුගේ බිරිඳ එක්කෝ දික්කසාද වෙලා ය. නැත්නම් මිය ගොසින් ය.

කෙවින් සිය රැකියාව සඳහා මහන්සි වෙද්දී ඔහුට පුතා සමග සමීප බැඳීමක් ගොඩනගා ගන්නට නොහැකි වෙයි. මේ නිසා පුතා ගත කරන්නේ තරමක් අතෘප්තිකර ළමා වියකි. ඔහු තුළ තාත්තා ගැන අප්‍රසාදයක් සහ කළකිරීමක් ද තිබේ.

මැකෝලේ කල්කින් දැන් 46 හැවිරිදි ය
මැකෝලේ කල්කින් දැන් 46 හැවිරිදි ය

දිනක් ඔහු තාත්තාට ඇතුල් වන්නට නොහැකි වන සේ නිවසේ දොරගුලු දමා වසා, විවිධ උගුල් ද අටවා තබයි. කතාව ඉදිරියට යන්නේ මෙම උගුල්වලින් බේරී කෙසේ හෝ නිවසට ඇතුල් වීමටත්, නැවත පුත්‍රයා සමග යහපත් සම්බන්ධයක් ගොඩ නගා ගැනීමටත් කෙවින් දරණ උත්සාහය හරහා ය.

මේ වනවිට චිත්‍රපටයේ මූලික නිශ්පාදන කටයුතු ආරම්භ වී ඇති බවත්, තිරනාටකය ලිවීමේ කටයුත්ත ද පටන්ගෙන ඇති බවත් සඳහන් වේ. තිරනාටකය ලිවීම සඳහා කල්කින් ද සහය වන බව පැවසේ. ප්‍රධාන තිරනාටක රචකයන් වන්නේ සෙත් රෝගන් සහ ඉවාන් ගෝල්ඩ්බර්ග් ය.

කලින් සඳහන් කළ ලෙසම කල්කින් Home Alone චිත්‍රපටයකින් නැවත ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ වසර 34 කට පසුව ය. ඒ නිසා මේ චිත්‍රපටය සාර්ථක කරගැනීමට ඔහු උපරිම කැපවීමකින් සහ උනන්දුවකින් කටයුතු කරනු දැකිය හැකි වේ. අලුත් Home Alone චිත්‍රපටය නැවතත් ප්‍රේක්ෂකයන් තුළ අපූරු මතකයක් බවට පත් කිරීම කල්කින්ගේ අභිප්‍රාය බව පෙනේ.

Home Alone පළමු චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් කල්කින් සම්මානවලින් පවා පිදුම් ලැබුවේය. එම චිත්‍රපටය ආදායම් අතින් ද අතිශයින් සාර්ථක වූ අතර ලොව පුරා ප්‍රදර්ශණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 476 ක ආදායමක් උපයන්නට සමත් විය. 1990 වසරේ තිරගත වූ සියලු චිත්‍රපට අතරින් දෙවැනියට වැඩිම ආදායම් ලැබුවේ එය යි. (එම වසරේ ආදායම් අතින් පළමු තැන පසුවූයේ Ghost නැමැති චිත්‍රපටය යි. එය ඇ. ඩොලර් මිලියන 505 ක ආදායමක් උපයා තිබිණි.)

Home Alone මුල් චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂකයන් කල්කින්ගේ වත්මන් ජීවන තොරතුරු දැන ගැනීමට ද කැමැත්තක් දක්වනු ඇත. මේ වනවිට ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු සිය පවුලත් සමග ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරයි. කල්කින්ගේ ජීවිත සහකාරිය වන බ්‍රෙන්ඩා සෝංග් ද නිළියකි.

ඔවුන් දෙදෙනා මුල්වරට හමු වී තිබුණේ 2017 වසරේ Changeland නැමැති චිත්‍රපටයේ රඟපාද්දී යි. එහි බොහෝ රූපගත කිරීම් කර තිබුණේ තායිලන්තයේ ය. වසර පහකට ආසන්න කාලයක් ඇසුරු කිරීමෙන් පසු ඔවුහු දෙදෙනා විවාහ ගිවිස ගත්හ.

2022 වසරේ ඔවුන් මෙලෙස විවාහ ගිවිස ගත්තත් තවමත් විවාහය නිල වශයෙන් ලියාපදිංචි කර නැති බව වාර්තා වේ.
කෙසේ හෝ වේවා මේ වනවිට ඔවුන්ට ඩකෝටා සහ කාර්සන් යනුවෙන් කුඩා පුත්තු දෙදෙනෙක් සිටිති. ඩකෝටා පස්වැනි වියෙහි පසුවන අතර කාර්සන්ගේ වයස අවුරුදු හතරකි.

ඩකෝටා සහ කාසන් කල්කින් රඟපාන Home Alone චිත්‍රපට බොහෝ වාර ගණනක් නරඹා ඇති බව සඳහන් වේ. නමුත් අපූරු කාරණය වන්නේ එහි රඟපාන කුඩා දරුවා තම පියා බව ඔවුන් තවමත් නොදැන සිටීම යි.

තමා ද එය රහසක් හැටියට තබාගෙන සිටින බවත්, යම් දිනෙක ඔවුන්ම එය සොයා ගන්නවා දකින්නට කැමැත්තෙන් සිටින බවත් කල්කින් පවසයි.

නිහාල් පීරිස්

රසගඟුල