මොනවද මේ ස්නායු රෝග?

අපේ සමහර ඉන්ද්‍රියයන් විනාශ වූ විට වෙනත් කෙනෙකුගෙන් ලබාගත් එවැනි ඉන්ද්‍රියයක් බද්ධ කළ හැකිය. නමුත් මොළය විනාශ වුවහොත් මොළයක් බද්ධ කළ හැකි නොවේ. අප ජීවත් වන්නේ මේ මොළය තුළ යැයි කීම වඩාත් නිවැරදිය.

ඒ අනුව අප මේ කරන්නේ මොළය තුළ හිඳ ශරීරය හැසිරවීම ලෙස දක්වන්නට පුළුවන. යම් හෙයකින් මොළය විනාශ වූයේ නම් එය එම පුද්ගලයාගේ අවසානයයි.

එසේම අපගේ ජීවිතය ලෙස සැලකිය හැක්කේ ස්නායු පද්ධතියයි. ස්නායු පද්ධතිය යනු මොළය සහ එය පිටුපසින් පහළට විහිදෙන සුසුම්නාවත්, ඊට පසුව විහිදී ඇති ස්නායු විශාල ප්‍රමාණයත් ය.

මේ සාකච්ඡා කරන්නේ ස්නායු පද්ධතිය සහ ඒ හා බැඳුණු මොළය ගැනයි.

අපේ අතක හෝ පයක ඇඟිල්ලක් කැපුනොත් එම තුවාලය සුව වී නැවත එම ඇඟිල්ල පෙර තිබූ තත්ත්වයට පත් වනු ඇත. නමුත් ස්නායුවක් විනාශ වුවහොත් එය පෙර තිබූ තත්ත්වයට පත් වන්නේ නැත. ප්‍රතිකාර මඟින් හෝ එය යථා තත්ත්වයට පත්කළ නොහැකිය. බොහෝ ස්නායු රෝගවලට ප්‍රතිකාර නොමැත්තේ එනිසා ය.

ස්නායුවල තිබෙන මේ වටිනාකම නිසාම ස්නායු පද්ධතිය පිහිටා තිබෙන්නේ ඉතාමත් ආරක්ෂා සහිතව ය .හිස් කබල ඇතුළත ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මොළය පවතින අතර සුසුම්නාව හිස්කබල තුළින් ආරම්භ වී ශරීරය පිටුපසින් පහළට ගමන් කරන්නේ ශක්තිමත් කොඳු ඇට පෙළ දිගේ ය. එය හරියටම පැවසුවහොත් මුතු ඇට මාලයක මුතු ඇට තුළින් නූල ගමන් කරන්නාක් මෙනි.

ස්නායු සෛලවලින් ස්නායු සෑදී ඇත. මෙම ස්නායු සෛල අපේ පියවි ඇසට නොපෙනේ . කොහොල්ලෑ ගුලියක් හැම පැත්තෙන්ම අදින විට නූල් ආකාරයට කොහොල්ලෑ ඇදෙන්නාක් මෙන් මෙම ස්නායු සෛලවලින් ද සෑම පැත්තෙන්ම නූල් ගණනාවක් එළියට පිට වෙයි. මෙයින් එක නූලක් පමණක් ඉතාම දිගට පිහිටයි. ඇතැම්විට මීටරයක් පමණ දිග විය හැකිය.

මෙම නූල් යනු ස්නායු වේ. වයරයක් දිගේ විදුලිය ගමන් කරන අන්දමින් මෙම සෛල වලිනුත් විදුලිය ගමන් කරවිය හැකිය.කෙටි නූල් වලින් විදුලිය ලබා ගන්නා අතර දිග නූලෙන් විදුලිය පිටකර හරී. ස්නායු ශරීරය තුළ විහිදෙන්නේ හරියටම නිවසේ ප්‍රධාන ස්වීචයෙන් විදුලිය පටන්ගෙන වයර් දිගේ ගොස් බල්බවලට සහ ප්ලග්වලට විදුලිය ගමන් කරන ආකාරයට ය.

ශරීරය පුරා විහිදී යන ස්නායු කරුණු තුනක් ඉටු කරයි. ඒ මෙසේය.

* මොළය විසින් දෙනු ලබන පණිවිඩ ශරීරය පුරා බෙදා හරී. නිදසුනක් ලෙස අපේ අත නවන්නට නම් “අත නවන්න ” යන පණිවිඩය මොළය මගින් අතට ලබාදිය යුතුය.

* මොළයට පණිවිඩ රැගෙන යයි. නිදසුනක් ලෙස අපේ කකුලක කටුවක් ඇනුණු විට එලෙස කටුවක් ඇනුණු බව අපට දැනෙන්නේ ස්නායු මගින් එම පණිවිඩය මොළයට දැන්වීම නිසාය.ස්නායු දිගේ විදුලිය ගමන් කරන්නේ කුමට ද යන්න දැන් ඔබට වැටහී ඇතැයි සිතමු.
මොළයේ සිට මුහුණ, කොඳු නාරටිය, පපුව, පිට, අත් පා ආදී වූ ශරීරයේ සියලු පැත්තටම මෙම ස්නායු විහිදෙන අතර එක් ස්නායුවක් විසින් බලාගන්නේ පටියක් වැනි එක් තීරුවක් පමණි. සෑම ස්නායුවකටම මෙබඳු පටි තිබේ.

මෙලෙස මොළයෙන් පිට වන ස්නායු, ශරීරයේ මස් තුළින් ඉදිරියට විහිදී ඊළඟට ඒවා කුඩා ස්නායුවලට බෙදේ. ඉන්පසු මස්පිඬුවලට සහ සමට ඇතුළු වේ. ප්‍රධාන ස්නායුවක් නිවසේ ඇති වයරයක් තරම් ඝනකම් විය හැකිය. මෙයින් එක ස්නායුවක් කැපුනොත් හෝ තැලුනොත් එම ස්නායුව විසින් බලාගන්නා ශරීරයේ කොටස ක්‍රියා විරහිත වේ.මෙසේ ක්‍රියා විරහිත වන විට එම ස්නායුව විසින් ගෙන යනු ලබන ” දැනීම ” සම්බන්ධ පණිවිඩ ගෙන යාම නතර වෙයි.

එවිට එම ප්‍රදේශය හිරි වැටෙයි. ඔබ දතක් ගලවන්නට ගිය විට එම දත තිබෙන ස්ථානයට හිරිවැටීම සඳහා ඉන්ජෙක්ෂන් එකක් ලබා දෙන අයුරු මතකද? එමගින් කරනු ලබන්නේ එතැන තිබෙන ස්නායුව තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමයි . එමගින් තාවකාලික හිරිවැටීමක් ඇති වී දත ගලවන විට ඔබට ඇති වන වේදනාව නැති කර දමනු ඇත. අත් පා ක්‍රියා නොකරන රෝගවලදී අත් පා හිරි වැටීමට හේතුව මෙම ස්නායු අකර්මණ්‍ය වීමයි.

මොළය මෙම ස්නායු පද්ධතියේ ම කොටසකි. මොළයේ මතුපිට කොටස වැඩ බෙදාගෙන සිටී. ඒ අනුව අපේ කකුල් බලා ගන්නා කොටස පිහිටා ඇත්තේ මොළයේ මුදුනෙහි ය. එතැන් සිට දෙපසට විහිදුණු පටි දෙකක් වැනි කොටස් දෙකක් මගින් මුළු ශරීරයම බලාගැනීම සිදුවේ .මේ හැම පටියක්ම දෙකට බෙදෙන අතර ඉදිරිපස පටිය ශරීරය ක්‍රියා කරවීමටත්, පසුපස පටිය සංවේදය සඳහාත් භාවිතා වෙයි. මොළයේ විවිධ කොටස් මගින් ශරීරය බලා ගැනීම සිදු කරයි.

කතා කිරීම සඳහා මොළයේ ස්ථාන දෙකකි. එකක් ශබ්ද කෝෂයයි. අනෙක වචන නිෂ්පාදනාගාරය යි.
මොළයේ පිටුපසින් පිහිටා තිබෙන්නේ සියලු දේ පෙනීම වෙනුවෙන් වෙන් වූ කොටසයි.
මොළයේ මතුපිට යම් කොටසක රුධිර නාලයක් සිරවීමෙන් හෝ පිළිකාවක් නැතහොත් සැරව ගෙඩියක් හැදුනොත් එයට අදාළ සිරුරේ අනෙක් පැත්තේ කොටස ක්‍රියා විරහිත වී යයි.

මොළයේ මතුපිට සිට මොළය හරහා පහළට ශරීරයේ විවිධ අවයව වෙත ගමන් කරන නූල් වැනි ස්නායු කොටස් පිහිටා ඇත.මෙවැනි ස්ථානවල ඇති වන ආබාධ ද මොළයේ මතුපිට ඇතිවන ආබාධ වලට සමාන වේ.

මස් පිඬු ක්‍රියාකරවීම මෙහෙයවීම සඳහා තවත් මධ්‍යස්ථාන කිහිපයක් මොළය අභ්‍යන්තරයෙන් මොළය පිටුපස ඇති කුඩා මොළයේ ක්‍රියාකාරීව පවතී. මේවාට යම් හානියක් සිදු වුවහොත් එය විවිධ රෝග ලෙස මතුපිටට දිස්වෙනු ඇත. උදාහරණ කිහිපයකින් විමසා බලමු.
නිතර අතක් හෝ පයක් වෙව්ලන ස්වභාවයෙන් යුතු, ඇතැම් විට පිළිමයක් සේ සිටගෙන සිටින ආදී වූ ලක්ෂණ ඇති පාකින්සන් රෝගය, අඟපසඟ නිතර සොලවන එක ඉරියව්වකින් සිටීම කෙසේවත් අපහසු කොරියා රෝගය, මත්පැන් බී වෙරිවූ අයෙකුගේ ගමන් විලාසය ඇති කුඩා මොළයේ අඩුපාඩු නිසා හටගන්නා රෝගය යන මේ රෝග තුනම මොළයට සිදුවූ හානි හේතුවෙන් හටගන්නා රෝගවලට උදාහරණ වේ.

මොළයේ වතුර පද්ධතියක් පිහිටා ඇත. එසේම මොළයේ කුඩා කුහර ගණනාවක් ඇති අතර එක කුහරයකින් තවත් කුහරයකටත් ඉන්පසු මොළය මතුපිටටත් මේ වතුර ගමන් කරයි. මොළය වටා ඇති ආවරණ කිහිපයකින් මොළය ආරක්ෂා වී ඇත. මේ වතුර පද්ධතිය යම් අයුරකින් අවහිර වුවහොත් එක කුහරයක් පිම්බීම නිසා මොළය තද වීම සිදුවේ.

මේ රෝගය හඳුන්වන්නේ NPH රෝගය ලෙසිනි. මෙය වැළඳුණු රෝගියකු හට මේ නිසා සිහිය වෙනස් වීම, ඇඳේ මුත්‍රා පහ වීම වැනි ලක්ෂණ හට ගනී. වියපත් මහලු අය තුළ දැකිය හැකි මේ රෝගය කිසිවකුවත් හඳුනා ගන්නේ නැත. රෝගියා කායිකව දුබල වීමෙන් සිදු වූ දෙයක් ලෙස සලකා පවුලේ අය රෝගියාව ඇ⁣ඳේම තබා අනිකුත් සත්කාර කිරීම මෙහිදී බොහෝ විට සිදු වේ.

නමුත් ඇත්තෙන්ම රෝගියාට තිබෙන්නේ NPH  රෝගය නම් එය ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. අවාසනාවට කවුරුත් මෙය නොදන්නා නිසා රෝගියා රෝහලකට රැගෙන එන්නේ නැත. අන්තිමේ කලක් එක්තැන් වී හිඳ රෝගියා මිය යයි.

මොළය වටා ඇති ආවරණවලට විෂබීජ යාමෙන් ඇතිවන ඉදිමීම මෙනින්ජයිටිස් රෝගයයි. මොළය ඉදිමුණොත් එය එන්කෙපලයිටිස් රෝගය වේ. මේවා ප්‍රතිකාර මගින් සුව වන රෝග වුවත් ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් රෝගියාට අනතුරක් වීමට තිබෙන හැකියාව වැඩිය.
මොළය තුළ එක් ස්ථානයක පමණක් වැඩිපුර ක්‍රියාකාරී වීමක් සිදු වූවොත් මොළය පුරා එක්වරම විදුලිය ගමන් කිරීම නිසා ශරීරය එක්වර කඩාගෙන වැටෙන අතර රෝගියා ගැහෙන්නට පටන් ගනී. මේ අපස්මාර රෝගයයි. මෙයද ප්‍රතිකාර මගින් මඟින් සම්පූර්ණයෙන් සුව කළ හැකිය.

ඔබට ස්නායු රෝග පිළිබඳව දැන් වැටහීමක් ලැබී ඇතැයි සිතමු. මුල් කාලයේදී ම ප්‍රතිකාර ගැනීම තුළින් මේ සමහර රෝග සුව කළ හැකිය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය