ලන්දේසීන් රැගෙන ගිය වසර 250කට වැඩි ඉතිහාසයක් ඇති  ‘මහ තුවක්කු’ දෙකක් යළි ශ්‍රී ලංකාවට

 

 

ලන්දේසි යටත් විජිත සමයේ මහනුවර රාජධානියෙන් රැගෙන ගොස් නෙදර්ලන්තයේ කෞතුකාගාරයක තැන්පත් කර තිබූ, 18 වැනි සියවසට අයත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ‘මහ තුවක්කු’ දෙකක් යළි ශ්‍රී ලංකාවට භාර දීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබේ.වසර 250කට වැඩි ඉතිහාසයක් ඇති මෙම ගිනි අවි දෙක ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි නෙදර්ලන්තයේ ජාතික කෞතුකාගාරය වන රයික්ස් කෞතුකාගාරයේ (Rijksmuseum) තැන්පත් කර තිබේ.මෙම තීරණය නෙදර්ලන්ත අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා අමාත්‍ය රියාන් ලෙට්ෂර්ට් විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝයර් විසින් ඒ බව නිවේදනය කරනු ලැබ ඇත.නෙදර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයට අනුව, මෙම ගිනි අවි දෙක 1765 වසරේදී ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම (VOC) සහ මහනුවර රාජධානිය අතර පැවති යුද ගැටුමකදී අත්පත් කරගෙන තිබේ.එම වසරේදී ලන්දේසි හමුදා මහනුවරට ඇතුළු වී රාජකීය මාලිගාව ඇතුළු ප්‍රදේශ රැසක් විනාශ කර තිබූ අතර, එහිදී අවි ආයුධ සහ වෙනත් වටිනා දේපළ ද කොල්ලකෑමට ලක්ව තිබේ. පසුව අත්පත් කරගත් භාණ්ඩ කිහිපයක් නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති බව ඓතිහාසික වාර්තා මගින් හෙළි වී ඇත.මෙම ගිනි අවි දෙක ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ‘මහ තුවක්කු’ (Maha Thuwakku) ලෙස හඳුනාගෙන තිබේ. ඒවායේ මූලාරම්භය පිළිබඳව රයික්ස් කෞතුකාගාරයේ විශේෂඥයන් සහ ශ්‍රී ලාංකික විද්වතුන් එක්ව සිදු කළ පර්යේෂණවලින් අනතුරුව, ඒවා ශ්‍රී ලංකාවට අයත් ඓතිහාසික පුරාවස්තු බව තහවුරු කර ඇත.එක් ගිනි අවියක මහනුවර රජුට සම්බන්ධ අක්ෂර සටහන් දක්නට ලැබීම, එහි ශ්‍රී ලාංකික මූලාරම්භය තහවුරු කරන වැදගත් සාක්ෂියක් ලෙස සැලකේ.නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයට අයත් පුරාවස්තු යළි භාර දීමට ගත් මෙම තීරණය, 2023 වසරේ සිදු කළ පුරාවස්තු ප්‍රතිස්ථාපනයේ තවත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.2023 වසරේදී මහනුවර රාජධානියට අයත් බව තහවුරු වූ ඓතිහාසික පුරාවස්තු හයක් නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලදී. ඒ අතර රන් හා රිදී කොපුවලින් යුත් කස්තාන දෙකක්, රන් පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේට සම්බන්ධ අලංකාර කැටයම් සහිත කාලතුවක්කුවක් ද විය. එම පුරාවස්තු මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.මෙවර යළි භාර දීමට තීරණය කර ඇති මහ තුවක්කු දෙක, 2023 වසරේදී ශ්‍රී ලංකාවට භාර දුන් මහ තුවක්කු දෙකේ මූලාරම්භයට සමාන ඉතිහාසයක් ඇති බව නෙදර්ලන්ත රජය සඳහන් කරයි.මෙම ගිනි අවි දෙක යළි ශ්‍රී ලංකාවට භාර දීමට නෙදර්ලන්ත අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා අමාත්‍ය රියාන් ලෙට්ෂර්ට් තීරණය කර ඇත්තේ නෙදර්ලන්තයේ ස්වාධීන යටත් විජිත පුරාවස්තු කමිටුවේ නිර්දේශය අනුවය.නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝයර් විසින් මෙම තීරණය නිවේදනය කරනු ලැබ ඇති අතර, පුරාවස්තු නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දෙන දිනය තවමත් තීරණය කර නොමැත.ඒ සඳහා ශ්‍රී ලංකාවේ විදේශගත සංස්කෘතික උරුමයන් යළි ලබා ගැනීමේ කමිටුව සහ නෙදර්ලන්තයේ යටත් විජිත පුරාවස්තු කමිටුව අතර ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීමට නියමිතය.යටත් විජිත සමයේදී බලහත්කාරයෙන් හෝ අයිතිකරුවන්ගේ කැමැත්තකින් තොරව රැගෙන ගිය සංස්කෘතික වස්තු ඒවායේ මුල් රටවලට යළි භාර දීම, ඉතිහාසයේ සිදු වූ අසාධාරණයන් නිවැරදි කිරීමේ වැදගත් පියවරක් ලෙස නෙදර්ලන්ත රජය සලකයි.

ඒ අනුව, සියවස් දෙකහමාරකට වැඩි කාලයක් නෙදර්ලන්තයේ කෞතුකාගාරයක තැන්පත්ව තිබූ මහනුවර රාජධානියේ යුද ඉතිහාසයට සාක්ෂි දරන මෙම මහ තුවක්කු දෙක, නැවත ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට එක්වීමට නියමිතය.

කාලීන පුවත්