කප්පම් සිද්ධියට පැටලුණු බොලිවුඩ් නිළි ජැක්ලින් අත්අඩංගුවට පත් වෙයි ද?

ඉන්දියානු සිනමාවේ දස්කම් දක්වන ශ්‍රී ලාංකික නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් අත්අඩංගුවට පත් වේවි ද යන පැනය මේ දිනවල කාගේත් අවධානයට ලක්ව තිබෙන්නකි. ඒ ඇය ඉන්දියානු රුපියල් කෝටි ගණනක කප්පම් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක චුදිතයකු බවට පත්ව සිටින නිසා ය. මේ සම්බන්ධයෙන් Enforcement Directorate නැමැති ඉන්දියානු මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකයක් ඇයට එරෙහිව පසුගිය දිනවල චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළේය. ඊට අදාළව දිල්ලියේ අධිකරණයක් සඳුදා දිනයේ ජැක්ලින් අධිකරණයට කැඳවා තිබිණි. ජැක්ලීන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ ඇප අයදුම්පතක් එම අවස්ථාවේ ඇයගේ නීතිඥයන් ඉදිරිපත් කර තිබූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව අධිකරණය ජැක්ලින් වෙනුවෙන් තාවකාලික අතුරු ඇපයක් (Interim Bail) ලබා දීමට පියවර ගෙන තිබිණි. ඇයට පූර්ණ ඇපයක් ලබා දීම සම්බන්ධයෙන් අධිකරණය ඉහත කී විමර්ශණ ඒකකයේ ප්‍රතිචාරය විමසා තිබේ. සඳුදා ජැක්ලින් අධිකරණය වෙත පැමිණ තිබුණේ නීතිඥවරියක සේ වෙස්වලාගෙන බවක් ද පැවසිණි.

ඔක්තෝබර් 22 වැනි දින මේ සම්බන්ධ මීළඟ නඩු වාරය පැවැත්වීමට නියමිතව තිබේ. මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකයේ ප්‍රතිචාරය අනුව අධිකරණය එහිදී ඉදිරි කටයුතු සිදු කරනු ඇත. මේ අනුව ජැක්ලින් ඉදිරියේ දී අත්අඩංගුවට පත් වේවිද යන්න බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කර තිබේ.

ජැක්ලින් ෆර්නැන්ඩස් මෙම කප්පම් සිද්ධියට පැටලුණේ එහි ප්‍රධාන සැකකරු වන සුකේෂ් චන්‍ද්‍රශේකර් නැමැති කෝටිපති කප්පම්කරුවකු සමග පැවැත් වූ සම්බන්ධයක් නිසා ය. ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති බවට ද කතන්දර පැතිරිණි. කප්පම් මුදල් භාවිත කරමින් සුකේෂ් ජැක්ලින්ට ඉතා වටිනා තෑගි ලබා දී ඇති බවට ද චෝදනා නැගිණි. අධි සුඛෝපභෝගී BMW වාහන, රන් අභරණ, ඇඳුම් පැළඳුම්, අත් බෑග, අත්ඔරලෝසු, අශ්වයන් සහ වෙනත් සුරතල් ෂතුන් ආදිය මෙම තෑගි බෝගවලට අයත් වූ බව පැවසේ. ඉන්දියානු රුපියල් කෝටි 7 ක් (ලංකා රුපියල් කෝටි 31 ක්) පමණ වටිනා තෑගි ජැක්ලින් ඔහුගෙන් ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල විය. ජැක්ලින් මෙම තෑගි ලබාගෙන ඇත්තේ සුකේෂ් ගේ අපරාධ පිලිබඳ ඉතිහාසය ගැන දැන දැනම බව විමර්ශකයෝ පවසති. මෙම තත්ත්වය තුළ මෙම සිද්ධියේ චුදිතයකු ලෙස ජැක්ලින් ද නම් කිරීමට Enforcement Directorate විමර්ශණ ඒකකය පියවර ගත්තේය.

බොලිවුඩ් සිනමාව තුළ වේගවත් සහ සාර්ථක ගමනක් යමින් සිටි ජැක්ලින්ගේ සිනමා කටයුතුවලට ද මෙම චෝදනා නිසා බලපෑමක් එල්ල විය. සමහර චිත්‍රපටවලින් ඇය ඉවත් කිරීමට පවා නිශ්පාදකයෝ පියවර ගත්හ. ඇයට අලුතෙන් චිත්‍රපට නොලැබෙන තරම් බව චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු පසුගිය දා මාධ්‍ය සමග පවසා තිබුණේය. ජැක්ලින් රඟපාන සිනමාපට කිහිපයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබුණත් ඒවා කලකට පෙර රූපගත කරන ලද ඒවා බව සඳහන් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර