මහ රැජිනගෙන් පසු චාල්ස් රජුට පැවරුණු මිල කළ නොහැකි ඔටුන්න

ottunna

මහ රැජිනගේ අවමගුල් උත්සවයේ දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වස්තුවක් වූයේ ඇයගේ මිනී පෙට්ටිය මත තැන්පත් කර තිබූ ඉතා අලංකාර ඔටුන්න යි. රාජකීයත්වය සංකේතයට නගන මෙම ඔටුන්න දැන් දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුතණුවන් වන 3 වැනි චාල්ස් රජු වෙත පැවරී තිබෙනවා.

මෙම ඔටුන්න ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ Imperial State Crown යන නමිනු යි. එය බ්‍රිතාන්‍ය රාජකීයත්වය හා බැඳුණු ඔටුනු අතරින් ප්‍රධානම ඔටුන්නක්. නමුත් රජ කෙනෙකු ගේ හෝ රැජිනක ගේ හෝ අභිෂේක මංගල්‍යයේ දී හිස පළඳවන්නේ මෙම ඔටුන්න නොවෙයි. එහි දී භාවිත කරන්නේ ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න (St Edward’s Crown) නමින් හැඳින්වෙන වෙනත් ඔටුන්නක්. එහෙත් එයින් පසු රජු හෝ රැජින සහභාගි වන බොහෝ නිල අවස්ථාවල දී හිස පළඳින්නේ Imperial State Crown නමින් හැඳින්වෙන මෙම ඔටුන්නයි.

par

දැනට භාවිත වන ඔටුන්න නිර්මාණය කර තිබුණේ 1937 වසරේ යි. ඒ දෙවැනි එළිසබෙත් රැජිනගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජු වෙනුවෙන්. ඊට කලින් සිටි රජුන් සහ රැජිනන් භාවිත කර තිබුණේ මෝස්තර අතින් මෙයට වඩා වෙනස් වෙනත් ඔටුනු. වර්තමාන ඔටුන්නට කලින් භාවිත කළ ඔටුන්න නිර්මාණය කර තිබුණේ වික්ටෝරියා රැජින ගේ සමයේ යි. ඇය සිහසුන දැරුවේ 1837-1901 අතර කාලයේ යි. එම ඔටුන්නට වඩා බරින් අඩුවන ලෙසත්, වඩාත් හොඳින් හිසෙහි රැඳෙන ලෙසත් මෙම නව ඔටුන්න නිර්මාණය කළ බව පැවසෙනවා. නමුත් මෙම ඔටුන්න පවා කි.ග්‍රෑ. 1.06 ක (රාත්තල් 2.3 ක) බරින් යුතු බව සඳහන්.

වික්ටෝරියා රැජින වෙනුවෙන් තැනූ ඔටුන්න එක් අවස්ථාවක බිම වැටී කැඩී ගිය බවටත් කතාවක් තිබෙනවා. 1845 වසරේ පාර්ලිමේන්තුවේ නිල උත්සවයක් සඳහා වික්ටෝරියා රැජින පැමිණෙද්දී ඇයට ඉදිරියෙන් එක්තරා ආදිපාදවරයකු මෙම ඔටුන්න කොට්ටයක් වැනි රඳවනයක තබාගෙන රැගෙන විත් තිබෙනවා. එම අවස්ථාවේ එය බිම වැටීමෙන් කැඩී ගිය බවයි සඳහන් වන්නේ. මෙම සිද්ධිය ගැන වික්ටෝරියා රැජින සිය දිනපොතේ ද ලියා ඇති බව සඳහන්.

සෑම වසරකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය පැවැත්වෙන්නේ රජුගේ හෝ රැජිනගේ ප්‍රධානත්වයෙන්. එහිදී ද ඔහු හෝ ඇය මෙම ඔටුන්න පළඳිනවා. එය හිස පැළඳ, රන් සිහසුන මත අසුන්ගෙන ඉදිරි වසර සඳහා රජයේ සැලසුම් ඇතුළත් ලියවිල්ලක් කියවනු ලබනවා. එළිසබෙත් මහ රැජින ද පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඔටුන්න හිස පැළඳුවා. 2018 වසරේ ඇය ඔටුන්නේ බර පිළිබඳව විහිලුවක් කරමින් මෙසේ පවසා තිබුණා.

‘පාර්ලිමේන්තුවේ කතාව කරද්දී ඔළුව පහත් කරලා ඒ කතාව දිහා බලන්න බැහැ. ඒ නිසා කතාව ටිකක් ඉහළට උස්සගන්න සිද්ධ වෙනවා. ඔලුව පහළට හැරෙව්වොත් බෙල්ල කැඩෙන්න පුලුවන්’ ඇය පැවසුවා. ‘ඔටුනුවල පොඩි පොඩි අවාසිත් තියෙනවා. එහෙම වුණත් ඒවා බොහොම වැදගත් දේවල්’ යනුවෙන් ද ඇය පවසා තිබුණා.

edwedමෙම ඔටුන්නෙ හි දියමන්ති සහ මැණික් ගල් 3,000 ක් පමණ අල්ලා ඇති බවයි පැවසෙන්නේ. මුතු ඇට 273 ක් ද එහි ඇති බව සඳහන් වෙනවා. ඔටුන්න පිලිබඳව ඇති වාර්තාවල සඳහන් වන්නේ එහි දියමන්ති 2,868 ක් ද, ඉතා වටිනා වර්ගවලට අයත් මැණික් 33 ක් ද අල්ලා ඇති බවයි. මේවායින් නික්මෙන කාන්තිය කෙතරම් ද යත් සෘජුව ඒ දෙස බලා සිටීම පවා අපහසු බව මෙම ඔටුනු සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කළ ඇනා කේයි වරක් පවසා තිබුණා. මෙම ඔටුන්නේ වටිනාකම ගණනය කිරීම අපහසු බවයි මේ පිලිබඳ විශේෂඥයන් පවසන්නේ.

කැරට් 317 ක් පමණ වන කලිනන් 2 නැමැති දියමන්තිය මෙහි ඇති විශේෂ දියමන්තියක්. ‘අප්‍රිකාවේ දෙවැනි තාරකාව’ නමින් ද මෙම දියමන්තිය හැඳින්වෙනවා. එය මෙතෙක් සොයාගෙන ඇති විශාලම දියමන්තියෙන් කපා ගන්නා ලද්දක් බවයි පැවසෙන්නේ. මෙම දියමන්තිය 7 වැනි එඩ්වඩ් රජුගේ 66 වැනි උපන් දිනයේ දී අප්‍රිකානු කලාපයේ ට්‍රාන්ස්වාල් නැමැති යටත් විජිතයක පාලකයන් විසින් ඔහුට තෑගි කරන ලද්දක් බව සඳහන්. 7 වැනි එඩ්වඩ් රජු සිහසුන දැරුවේ 1901-1910 අතර කාලයේ යි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්