කැබිනට් මණ්ඩලය යන නම මේ දිනවල නිතර කතා බහට ලක් වන්නකි.කිසියම් රටක ප්‍රධාන ඇමති වරුන් එක්ව රාජ්‍ය පාලනය සම්බන්ධ අභ්‍යන්තරිකව තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය ප්රජාතන්ත්රීය දේශපාලනයේ වැදගත් තැනක් ගනියි.මුත් වත්මන් කැබිනට් මණ්ඩලයේ ගනු ලබන බරපතල තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන් ඇතුළු ඇමති වරුන් කිහිප දෙනකු දැනුවත් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි.
ඉන් පැවසෙනුයේ වත්මන් කැබිනට් මණ්ඩලය තුළින් අප රටේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් කිනම් අයුරකින් හෝ අයුරකින් කොන් වී ඇති බවය.කැබිනට් මණ්ඩලය යන නම නූතන දේශපාලනය හා සබන්ධ වුවද දේව මණ්ඩලය යන නම අප ජන සංස්කෘතියේ අතීතයේ පැවසෙන්නකි.කැබිනට් සාමාජිකයන් බොහෝ විට මහජන නියෝජිතයන් වන අතර දේව මණ්ඩල වල තත්වය එසේ නොවේ.අපගේ මිය යන ඇතැම් ඥාතීන් විවිධ ප්‍රධාන දෙවි වරුන්ගේ දේව මණ්ඩල වල සේවයට බැඳී තමන් ඇසුරු කළ ඥාති මිත්‍රාදීන්ට පිහිට ආරක්ෂාව සළසන බවට පොදු ජන විශ්වාසයක් තිබේ.
විශේෂයෙන් දේවාරූඪයෙන් ශාස්ත්‍ර කීම් වල දී ඒ ඒ දෙවි වරුන් වශයෙන් ආරූඪ වන්නේ එම දේව මණ්ඩල වල සාමාජිකයන් බවට ප්‍රබල විශ්වාසයක් තිබේ.නමුත් මෙම සාමාජිකයන් හුදකලා දෙවි දේවතාවන් නොවන අතර ඔවුන් කෙරෙන් අනන්‍යතා ලක්ෂණ ද දක්නට නොමැති බව පොදු පිළිගැනීමකි.
අපගේ මිය ගිය ඥාතීන් තමන් කළ පින් පෙත් වලට අනුව දේවාත්මයන් ලැබීම පිළිබඳ බෞද්ධාගමික විශ්වාසය සහ මෙම දේව මණ්ඩල වලට පිවිසීම පිළිබඳ විශ්වාස අතර නොයෙක් සමානතා මෙන්ම විෂමතා ද දක්නට පුළුවන.
පෙරදිග බෞද්ධ සංකල්ප අනුව දෙවියන්. දේවතාවුන්, යක්ෂ, රාක්ෂ, මාර, බ්‍රහ්ම යන අමනුෂ්‍ය කොට්ඨාස තුළ එකි`නෙකාට යම් පමණක ඥාතිත්වයක් සබඳතාවයක් ඇතැයි පිළිගැනීමක් පවතී. එහෙත්, අපේ දේශීය ජන විඥානයට අනුව දෙවියන් හා දේවතාවුන් අතර යම් වෙනසක් පවතී. එහෙත්, මෙම වෙනස නූතන සමාජයේ බොහෝ දෙනා නොහඳුනති.ප්‍රධාන දෙවිවරුන් හා සහ දෙව් පිරිවර යනු එකම ගුප්ත බලශක්ති ප්රවාහයකි.
කතරගම, විෂ්ණු, නාථ, ඊශ්වර, සමන්, පත්තිනි වැනි ශ්‍රී ලාංකීය ජන ප්‍රධාන දෙවිවරුන් අතිමහත් බල පරාක්‍රමයන්ගෙන් සපිරි පුද්ගල රූපී නොවූ බලශක්තීන් රාශියක සංකලනයන් බව ජන ඇදහීමය.. එවැනි එකි`නෙකට අනන්‍ය වූ බලශක්තියක් තුළ අප්‍රමාණ වූ සේනාවකින් සැදුම්ලත් දේව මණ්ඩලයක් ප්‍රධාන දෙවියකු වටා පවතී.
පෙරකී සමහර දේවතාවුන් එම ප්‍රධාන දෙවියාගේ දේව බලශක්තිය තුළ වැජඹෙන පරිවාර සේනාවෝ ය. දෙවියන් සම්බන්ධ කතා බස්වලදී දේව මණ්ඩලය යන වදන නිතර ව්‍යවහාර වනුයේ එනිසා ය.. එහෙත්, මේ දේව මණ්ඩලවල ස්වභාවය බොහෝ දෙනෙක් නොදනිති. නොහඳුනති.
ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලයේ එක් ව්‍යුහයක් පවතී. අපේ ජන සංස්කෘතියේ එන විෂ්ණු සුරිඳුන්ගේ වාහල දෙවිඳුන් නැතිනම් දොරටු පාලකයා වැනි තනතුරක් දරන දෙවියා, යක්ෂ සම්භවයක් ඇති දැඩිමුණ්ඩ නැතිනම් අලුත් නුවර දේවතා බණ්ඩාරය. ඒ අනුව අලුත් නුවර දේවතා බණ්ඩාර යනු විෂ්ණු බල පරාක්‍රමය යටතට ගැනෙන දෙවියන්ගේ උප දෙවියෙකි. දැඩිමුණ්ඩ සුරිඳුන් විෂ්ණු දෙවිඳුන්ගේ උප දෙවියකු වුවද දැඩිමුණ්ඩ සුරිඳුන් යටතේද ඒ ආකාරයේම පරිවාර සේනාවක් සිටී.
ඒ අතර සුදුමල් බණ්ඩාර දේවතාවද එක් අයෙකි. කෑරගල පද්මාවතී පිරුවන් දේවාලය, ඉඹුල්ගොඩ, අමුණුගොඩ කුඩු මිරිසේ දේවාලය, සුදුමල් බණ්ඩාර සඳහා වෙන් වූ දෙවොල් අතර වෙයි.
සුදුමල් බණ්ඩාර යටතේ ද තවත් ඒ ආකාරයේම පරිවාර දේවතා සමූහයක් වෙති. ඒ අනුව ඉහළින්ම සිටින ප්‍රධාන දෙවියාගේ සිට පහළින් පහළට ශාඛා විහිදෙමින් යන දේව මණ්ඩලයේ පහළම තලයට යනවිට භූතයන්, අසුරයන් වැනි යහපත් නොවූ අමනුෂ්‍යයන්ගෙන් සැදුම්ලත් පිරිසක් ද සිටිය හැකිය.මෙය හරියට වර්තමාන දේශපානයේ ප්‍රබල රාජ්‍ය නායකයකු වටා හිඳින විවිධ තරාතිරම් වල අවශේෂ දේශපාලනඥයන් මෙනි.
මෙම තත්වය යටතේ ඉහළින්ම වැජඹෙන ප්‍රධාන දෙවියාගේ පටන් දේව මණ්ඩලයේ පහලින් පහලට ගමන් කරන විට ඔවුන්ගේ බල පරාක්‍රමය, තේජස හා යහගුණ ප්‍රධාන දෙවියාට සාපේක්ෂව ක්‍රමයෙන් අවප්‍රමාණ වන බව පෙනේ. නමුදු එය ප්‍රධාන දෙවියා සතු බල පරාක්‍රමයෙන් කොටසක් අංශු මාත්‍රයක් වන බැවින් එම උප ගණයේ දේවතාවන් සතු ස්වීය බලය එතරම ඇගයීමකට ලක් නොවේ.
එලෙස ප්‍රබල දෙවියකුගේ දේව මණ්ඩලයක පහළම තලයේ සිටින පෙර කී ආකාරයේ භූතයන් අසුරයන් වැනි අමනුෂ්‍ය කොට්ඨාස ප්‍රධාන දෙවියා ඇතුළු මුලින්ම වැජඹෙන දෙවිවරුන්ගේ බැලමෙහෙවර කරන දාසකම් කරන දේවතාවුන් පිරිස බව පොදු ජන විඥානයේ සටහන්ව තිබේ.මෙහිදී බොහෝ දෙනකු නොදත් කරුණක්ද අනාවරණය කරනු කැමැත්තෙමි.
එනම් අප නමින් මිය පරලොව ගිය අපේ නෑ පරපුරේ ඥාති මිත්‍රාදීන් ද තමන් කළ පව් පින් අනුව පෙර කී එක් එක් ප්‍රධාන දෙවියාගේ දේව මණ්ඩලයේ විවිධ ස්ථානවලට අරක් ගත හැකි බවට ඇති පැරණි ජන විශ්වාසයයි.එබැවින් ඉහත සඳහන් ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපට ඥාතිත්වයක් ඇති දේවතාවන් හා දේවතාවියන් අනන්තවත් සිටිය හැකියැයි පැරැන්නෝ කීහ.
ඒ අනුව ප්‍රධාන දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව ලබාදීම කෙරෙහි එසේ එම දේව මණ්ඩලවලට පිවිස හිඳන මියගිය ඥාතීන් ද ඉදිරිපත් වීම් බහුලව සිදුවන බවත්.
ඒ ප්‍රධාන දෙවියා අදහන බොහෝ බැතිමතතුන් ඒ බව නොදන්නා බවත් පැරණි සමාජය තුළ ප්‍රබල විශ්වාසයක් විය.මේ තත්වය යටතේ වත්මන් කැබිනට් මණ්ඩලය හසුරුවන ප්රබලතමයන්ගේ අනසකට යටත්ව කරයුතු කරන තුරු විමල් වීරවංශ මහතා ඇතුළු අවශේෂ කැබිනට් ඇමති වරුන්ට තම තනතුරු දිගටම පවත්වාගෙන යා හැකිය.
මා මෙසේ කියනුයේ දේව මණ්ඩල පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාස වලට අනුව එමතත්වය එලෙසම පවතින බැවිනි.
තිලක් සේනාසිංහ