ට්‍රම්ප්ට වෙඩි වැදීම බොරු මවා පෑමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ දේශපාලන රැළියක් අමතමින් සිටි හිටපු ඇමරිකානු ජනපතිවරයකු මෙන්ම මෙවර අපේක්ෂකයකු ලෙස ද ඉදිරිපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 13 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක් වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ බහුතර මාධ්‍ය පෙන්වන්නට උත්සාහ ගන්නා කතාවට වඩා වැඩි යමක් මේ පසුපස තිබෙන බැව් ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. මේ වෙඩි තැබීමේ දී බහුතර මාධ්‍ය විසින් වාර්තාකොට තිබුණේ එක් උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ පසාරු කරගෙන ගමන් කිරීම නිසා එය තුවාල වූ බවය. ඇතැම් වාර්තාවල සඳහන්ව තිබුණේ එම තුවාලය සිදු වූයේ උණ්ඩයක් ගමන් කිරීම නිසා නොව හිටපු ජනපතිවරයා ඉදිරියේ වූ ටෙලි ප්‍රොම්ප්ටරයේ උණ්ඩය වැදීමෙන් විසි වූ වීදුරු කැබැල්ලක් කණ හරහා ගමන් කිරීමෙන් බවය. හිටපු ජනපතිවරයා වෙඩි තැබීමේ සිද්ධියේ දී දෑත් ඔසවා ආචාර කරන අවස්ථාවේ කණකින් ලේ වැගිරෙනවා දකින්නට හැකි විය. ‘හින්දුස්තාන් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කොට තිබුණේ මේ වෙඩි තැබීම ට්‍රම්ප් විසින්ම සැලසුම් කොට සිදු කරන ලද්දක් බවට පුවත් ලැබී තිබෙන බවය. ඔහුගේ අරමුණු වී ඇත්තේ මේ තුළින් ජනතාවගේ අනුකම්පාව දිනාගෙන තමාට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීම බැව් එම වෙබ් අඩවිය සඳහන් කොට තිබිණි. එහිදී ඔහුගේ ජීවිතයට හානියක් නොවුන ද, රැළියට සහභාගී එක් පුද්ගලයකු එහි දී මරණයට පත් වූ අතර ආරක්ෂක අංශවල වෙඩි තැබීමේ දී ඝාතකයා ද මරණයට පත් විය. මේ වෙඩි තැබීම සිදු කොට ඇත්තේ මැතිව් කුක්ස් නමැති 20 හැවිරිදි තරුණයකු බව පසුව සොයා ගනු ලැබිණි. ඇමරිකා එක්සත් ජනපදය තුළ ජනාධිපතිවරුන් වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ ඇති ඉතිහාසය එතරම් යහපත් එකක් නොවන නිසා මෙය ද ඒ පන්නයේම උත්සාහයක් විය හැකි යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති.

කාලීන පුවත්