රාජාංගනයේ සද්ධාරතන හිමිට වරෙන්තු – නිකායෙන් ද නෙරපා හැර ඇති බවට වාර්තා

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් රාජාංගනයේ සද්ධාරතන හිමි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (25) වරෙන්තු නිකුත් කළේය.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.එමෙන්ම සැකකාර හිමියන්ගේ ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.අදාළ නඩු කටයුත්තට සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කැඳවීම සඳහා නඩුව ලබන පෙබරවාරි මස 24 වැනිදා යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය.ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පසුව උන්වහන්සේ ඇප මත මුදාහැර තිබුණි.මේ අතර, රාජාංගනයේ සද්ධාරතන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමට එම නිකාය මීට පෙර තීරණය කර තිබිණි.’රාජාංගණේ හාමුදුරුවෝ’ නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබූ බව වාර්තා විය.එම නෙරපා හැරීම පිළිබඳව 2025 වසරේ අප්‍රේල් මාසයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ද දැනුම් දී තිබිණි. කෙසේ වෙතත්, අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් රාජාංගනයේ සද්ධාරතන හිමියන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව වාර්තා වේ.එම සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව මීට පෙර අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියෙන් කරුණු විමසා තිබිණි.

කාලීන පුවත්