කවුරු අකමැති වුණත් වී වගාව තුනෙන් එකකින් අඩු කරන්නම වෙනවා

 

දැනට මෙරට වගා කෙරෙන සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක වී වගාව කඩිනමින් අඩු නොකළහොත් ගොවි ජනතාව, මෙරට කෘෂිකර්මාන්තය මෙන්ම සමස්ත ආර්ථිකය ද බරපතළ අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.සුපිරි වී යාය 10+ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මෙරට ‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස හැඳින්වුවද, ශ්‍රී ලංකාව වී නිෂ්පාදනයට පමණක් සීමා වූ රටක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වී හැර අනෙකුත් ධාන්‍ය වර්ග විදේශ රටවලින් ආනයනය කර පරිභෝජනය කිරීමට සිදුවීම ජාතියක් ලෙස අප අසමත් වී ඇති බවට සාක්ෂියක් බව පැවසීය.වී නිෂ්පාදනය මේ වන විටත් රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, මින්නේරියේ සිට හිඟුරක්ගොඩ දක්වා ගමන් කරන අතරතුර ගොවීන් තවදුරටත් විශාල වශයෙන් වී වගා කරන අයුරු දක්නට ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.එහෙත් එම වී අස්වැන්න අලෙවි කිරීම සඳහා රට තුළ ප්‍රමාණවත් ඉල්ලුමක් හෝ වෙළෙඳපොළක් නොමැති වීම බරපතළ ගැටලුවක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග මේ අවස්ථාවේදී වෙළෙඳපොළට මුදාහැරියහොත් වී සහ සහල් මිල තවදුරටත් පහත වැටෙනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. සහල් මිල අධික ලෙස පහත වැටීමෙන් වී ගොවිතැන පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.එළඹෙන මාස් කන්නයේ අස්වැන්න වෙළෙඳපොළට පැමිණීමටත් පෙර දැනටමත් වෙළෙඳපොළ තුළ වී සහ සහල් තොග විශාල වශයෙන් එක්රැස් වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙවැනි තත්ත්වයක් තුළ කවුරුන් කැමති වුවද, අකමැති වුවද, දැනට වී වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක වී වගාව නතර කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.වී අතිරික්තය හමුවේ ගොවීන්ගේ ආදායම ආරක්ෂා කිරීමත්, කෘෂිකර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාමත් සඳහා විකල්ප ක්‍රියාමාර්ග අවශ්‍ය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සහල් ආශ්‍රිත විකල්ප නිෂ්පාදන කෙරෙහි යොමුවීම, අතිරික්ත වී සහ සහල් අපනයනය කිරීම මෙන්ම ගොවීන් වෙනත් භෝග වගාවන් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සොයමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්