අලුත් අවුරුද්දට ගමේ යන්න දුම්රිය හා පෞද්ගලික බස් හිඟයක්;ලංගම පෙරට එයි

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් සැපයෙන පොදු ප්‍රවාහන පහසුකම් වල විශේෂ පසුබෑමක් සිදුව තිබේ.ඒ සඳහා අද(08) සිට අතිරේක බස් රථ හා දුම්රිය යෙදවිය යුතු වුව ද මෙවර ඒ සඳහා දුම්රිය සහ පෞද්ගලික බස් සේවා අසමත් ව තිබීම විශේෂත්වයකි.වෙන වාර වල විශේෂ දුම්රිය ගමන් වාර 40 ක් පමණ යොදවන දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මෙවර වෙන්කර ඇත්තේ විශේෂ දුම්රිය වාර 02 ක් පමණි.කෙසේ වෙතත් දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටිය ද දෙපාර්තමේන්තු අභ්‍යන්තර අරංචි මාර්ග පවසනුයේ සේවය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම ආදී හේතූන් මත ඇතැම් දුම්රිය ගමන් වාර අවසන් මොහොතේ පවා අවලංගු විය හැකි බව ය.
මීට අමතරව ඉන්ධන සපයා ගැනීමේ දුෂ්කරතාව මත ඉදිරි දිනවල පෞද්ගලික බස් සේවාව නිසි පරිදි පවත්වා ගෙන යාමේ ගැටළු පැන නැඟිය හැකි බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ කියති. .එමෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේ රජය පෞද්ගලික බස් කර්මාන්තයට කිසිදු සහායක් නොදැක්වීමේ ප්‍රති විපාක ජනතාවට විඳ ගැනීමට සිදු ව ඇති බව ද ඔව්හු වැඩි දුරටත් කියති.නමුදු මේ සියලු තත්වයන් යටතේ විශේෂ ප්‍රවාහන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති අතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලේ සිට දිවයිනේ සෑම නගරයක් කේන්ද්‍ර කර ගනිමින් අතිරේක බස් රථ යොදා ඇතැයි පවසන ලංගම දෛනිකව ධාවනයේ යෙදෙන බස් රථ වලට අමතරව මෙවර අතිරේක බස් රථ ගණන 1200 ක් යොදවා ඇති බව ද කියයි. එමෙන්ම අධිවේගී මාර්ග වල ධාවනය කෙරෙන ලංගම බස්රථ වල ගමන් වාර ගණන වැඩි කිරීමට කටයුතු යොදා ඇති බව ද ලංගමය දන්වා සිටියි.

කාලීන පුවත්