ඔබේ සුනඛ සුරතලා හදිසි අනතුරකට ලක් වුණොත් ?

සුනඛයන් මියයාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමට හේතු වන සුලභ තත්ත්වයක් වන්නේ රිය අනතුරු යි. එවැනි ඉරණමකට සුනඛයකු ගොදුරු වීම දුක්මුසු අත්දැකීමක්.

සුනඛයකු රිය අනතුරකට ලක් වූ විට කළ යුතු සහ නොකළ යුතු දේ කුමක් දැයි බොහෝ අයට අවබෝධයක් නෑ. ඒ නිසාම අනතුරට ලක් ලක්වූ  සතාට මෙන්ම සතාට සමීප වන අයට ද සිදුවිය හැකි හානිය වඩාත් වැඩි විය හැකියි. අනතුරකින් තුවාල ලැබූ සුනඛයකු වෛද්‍යවරයකු වෙත රැගෙන යන තුරු අනුගමනය කළ යුතු  නිවැරදි ක්‍රියා ක්‍රියාමාර්ග තුළින් දෙපාර්ශවයටම සිදුවිය හැකි හානිය අවම කර ගන්න පුළුවන්.

සුනඛයා රිය අනතුරකට ලක් වූ විගස කළ යුත්තේ කුමක්ද ?

මෙහිදී බොහෝ දෙනෙක් කරන්නේ සතාට සමීප වී  සතා එතැනින් ඉවත් කිරීමට උත්සාහ දැරීමයි. නමුත් කොතරම් හීලෑ  සතකු වුවත් රිය අනතුරකට ලක්වූ වහාම සතා සමීපයට ගොස් එසවීමට උත්සාහ දැරීම එක්වරම නොකළ යුතු දෙයක්.  ඒ අවස්ථාවේදී සතා සිටින්නේ බොහෝ සෙයින් බිය වී මානසික වික්ෂිප්ත භාවයට සහ කම්පනයට ලක් වීමෙනුයි. මේ තත්ත්වය මත තමන්ගේ සිරුරට අත තබන හාම්පුතා වුවද සපාකෑමට බොහෝ විට ඉඩ තිබෙනවා. එසේ කරන්නේ තම සිරුරට දැනෙන දරුණු වේදනාවට එරෙහිව සතා දක්වන ප්‍රතිචාරයක් ලෙසිනුයි. එබැවින් මුලින්ම කළ යුත්තේ සුනඛයා එතැනින් ඉවත් කිරීමට පෙර  කටකලියාවකින් නැතිනම් රෙදි කඩකින් හෝ සතාගේ මුඛය ගැටගසා  දැමීමයි.

ඉන්පසු සතාට සමීප වී තමන්ගේ කෙනෙකු ළඟ සිටින බව හැඟවීමට දිගින් දිගටම සතාගේ නම කියමින් කතා කර උගේ බිය පහකළ යුතුයි.

රිය අනතුරකට ලක්වූ සුනඛයකු උගේ පාදවලින් ඔසවාගෙන ගොස් එතැනින් ඉවත් කිරීම බොහෝ අය කරන ක්‍රියාවක්. නමුත් අනතුරකට ලක්වූ  සතෙකුව  එලෙස එසවීම සුදුසු නෑ. යම්කිසි ආකාරයකින් සතාගේ  පාදවලට හෝ කොඳු ඇට පෙළට යම් අනතුරක් සිදුවී ඇත්නම් ඒ ආකාරයට එසවීමේදී සතාට සිදුවිය හැකි හානිය තවත් උග්‍ර වෙන්න පුළුවන්. එමෙන්ම අනතුරෙන් අභ්‍යන්තර තුවාල සිදුවී තිබේ නම් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීමට ද මේ නිසා  වැඩි හැකියාවක් තිබෙනවා. එබැවින් සුනඛයා යම්  ආධාරකයක් මත හෝ ලෑල්ලක් මත සීරුවට තබා රැගෙන යාම සුදුසු ක්‍රමයයි.

ඉන්පසු සතාගේ සිරුර පරීක්ෂාකර කළ යුතුයි. රුධිර  වහනය වන ස්ථාන නිරීක්ෂණය කිරීම සහ සතාට සිහිය තිබේද නැද්ද යන්න හඳුනා ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්.

අනතුර නිසා පාදවලින් රුධිර වහනය වීමේ දී බොහෝ අය කරන්නේ පාදවලට ඉහළින් ගැට ගැසීම යි. එලෙස  ගැට ගසන්නේ නම් වඩාත් තද නොවන සේ  බුරුල් ව ගැට ගැසීමට කල්පනාකාරී විය යුතුයි. නැත්නම් ඉන් පහළ කොටස්වලට රුධිරය ගමන් කිරීම ඇනහිටීම හේතුවෙන් සතාගේ  එම කොටස්වල සෛල මිය යාමට වුවද හැකියාව තිබෙනවා. එනිසා  වඩාත් සුදුසු වන්නේ රුධිරය නතර කිරීමට එම තුවාල මත පුළුන් තබා ගෝස් කැබැල්ලකින් වෙලා දැමීමයි.

සුනඛයාට සිහිය නැති බවක් පෙනේ නම් උගේ හිස කොටස සිරුරට වඩා පහළින් සිටින සේ තැබිය යුතුයි. සිරුර සීතල වී ඇති බවක් දැනේ නම් ප්ලාස්ටික් බෝතලයකට උණුසුම් වතුර පුරවා එම බෝතලයෙන් සිරුර තැවීම කළ  යුතු වෙනවා. එසේ නැතිනම් රෙද්දකින් සිරුර ඔතා තැබීම වුවද කළ හැකියි. අනතුරින්  පාද බිඳී ඇති බවක් පෙනෙන්නට ඇත්නම් එම පාද දෙපසින් ලී පතුරු දෙකක් තබා බැඳීම කළ යුතුයි. එම ලී පටිවලින් පාද සීරීම, තුවාල වීම ආදිය සිදු නොවීමට ඒවා ද රෙදි පටියකින් වෙලා ආවරණය කිරීම යෝග්‍යයි.

වෛද්‍යවරයකු කරා  රැගෙන යන තුරු සතා තුළ තිබෙන දැඩි බිය මග හැරවීම සඳහා දිගින් දිගටම උගේ නමින් අමතමින්  සතාව ස්පර්ශ කිරීමට අමතක නොකළ යුතුයි. එවිට සතා ක්‍රමයෙන් හීලෑ තත්ත්වයට පත්වේවි. එය ඌට ප්‍රතිකාර ලබාදීම සඳහා ඔබට මෙන්ම වෛද්‍යවරයාටත් මහත් පහසුවක් වනු ඒකාන්තයි.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය