නව ඉදිකිරීම් නවතන්න;ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දී ගැනීමෙන් වළකින්න

සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි අමු ද්‍රව්‍ය රැසක මිල ගණන් අවස්ථා ගණනාවක දී අසීමාන්තික ලෙස ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාවටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් එය දරා ගැනීමට නොහැකි සීමාවකට පැමිණ ඇති බැවින් නව ඉදිකිරීම් සියල්ල තාවකාලිකව නවතා දමා ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දී ගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසයි.මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා රුපියල් 1,375ට පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,350ක් දක්වා තුන් වතාවක් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගැනීමට සාපේක්ෂව අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ද වැඩිවීම හේතුවෙන් අමු ද්‍රව්‍ය මිල දී ගැනීම තාවකාලිකව හෝ නතර කළ යුතු බව හෙතෙම පැවසීය.මේ අතර නැවත වතාවක් රුපියල් 400කින් සිමෙන්ති කොට්ටයක් ඉහළ දැමීමට සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බවත්, ඒ සමඟම ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය නැත්තට ම නැති වී යනු ඇතැයි ඔහු කීය.දැනටමත් වැලි සඳහා ගෙවන මුදල රුපියල් 4,000ත් 5,000ත් අතර මුදලකින් ද රූෆින් ෂීට් වර්ග අඩියක් රුපියල් 418 සිට 1027 දක්වා ත්, රුපියල් 170,000ට පැවැති යකඩ ටොන් එකක් රුපියල් 750,000 දක්වා ත් වැඩි වී ඇතැයි ද සුසන්ත ලියනාරච්චි මහතා කීය.එලෙස නිසි පාලනයකින් තොරව අමු ද්‍රව්‍යවල මිල වැඩි වීම මත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය අන් කිසි දිනක සිදු නොවූ ලෙසින් බිඳ වැටෙනු ඇතැයි ද හෙතෙම කීය.

කාලීන පුවත්