බොරු ආරංචි මත ජනතාව පෙට්‍රල් සොයා එති

ලබන සෙනසුරාදා වන තුරු පෙට්‍රල් බෙදාහැරීමක් නොකරන නිසා පෙට්‍රල් ලබා ගැනීමට ඉන්ධන පිරවුම් හල් වෙත නොපැමිණෙන්නැයි බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා දන්වා තිබියදීත් පෙට්‍රල් ලබා ගැනීම සඳහා විවිධ පිරිස් තම ඉන්ධන පිරවුම් හල් වෙත පැමිණෙන බවත් ඔවුන් ගෙන් සමහරකු අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීමට පවා සැරසෙන බවත් ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල් හිමියෝ කියති.ඔවුන් වැඩිදුරටත් කියනුයේ මෙසේ පැමිණෙන සමහරුන් තම ඉන්ධන පිරවුම් හල් වලට පෙට්‍රල් තොග ලැබී ඇතැයි සමාජ ජාල මඟින් පැතිර යන ව්‍යාජ ප්‍රචාර වලට රැවටී මෙසේ පෙට්‍රල් සොයා තම ඉන්ධන හල් වෙත පැමිණෙන බවය.එමෙන්ම සමාජ ජාල මඟින් මෙලෙස අසත්‍ය තොරතුරු පැතිරවීම පිටුපස ජනතාව කුපිත කොට මහජන සාමය කඩකිරීමේ රහස් වැඩපිළිවෙලක් ද තිබිය හැකි බව පවසන එම ඉන්ධන පිරවුම් හල් හිමියන් පවසනුයේ ඉන්ධන බෙදාහැරීම බරපතල අර්බුදයකට පත් ව ඇති මේ දිනවල ඒ සම්බන්ධ වගකිව යුතු අංශ මඟින් කරන දැනුම්දීම් පමණක් පිළිගන්නා ලෙසය.එමෙන්ම පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට සමාජ මාධ්‍ය මඟින් පැතිර යන පුවත ද මුලුමනින්ම අසත්‍යයක් බව බලශක්ති ඇමති වරයා කියයි.

කාලීන පුවත්