ඔබේ රෝගයට වඩාත් සුදුසු වෛද්‍යවරයා කවුද ?

අපේ ජීවිතය තුළ අපට අත හරින්නට බැරි, මග හරින්නට බැරි යම් අයෙකු සිටී නම් ඒ වෛද්‍යවරයාය. අපට කුමන මොහොතක වෛද්‍යවරයකු වෙත යාමට සිදුවේදැයි කාටවත් කිව නොහැකිය. එපමණටම අපට වැළඳෙන ලෙඩ රෝග විවිධ ය, විෂම ය. එනිසා සාමාන්‍ය වෛද්‍යවරයා ගේ සිට ශරීරයේ එක් එක් අංශ සඳහා විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් දක්වාම විවිධ වෛද්‍යවරුන් අපගේ රෝග සඳහා ප්‍රතිකාර ලැබීමේදී අපට අවශ්‍ය වේ.

බොහෝ විට අප වෛද්‍යවරයකු තෝරා ගන්නේ ඒ පිළිබඳ දැනීමක් ඇති කෙනෙකුගෙන් විමසා බලා ය. එසේම පවුලේ කෙනෙකුගේ හෝ වෙනත් දන්නා කියන කෙනෙකුගේ රෝගයකට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා තමාගේ රෝගයටත් සුදුසු යැයි සිතා ඒ වෛද්‍යවරයාව තෝරා ගන්නා අවස්ථාවන් ද තිබේ. සමහරු මාධ්‍යවලින් නිතර අසන දකින වෛද්‍යවරුන් තමන්ගේ රෝගය සඳහා තෝරා ගනිති. එසේම තවත් සමහරු තමන්ගේ රෝගය සඳහා ප්‍රතිකාර ලැබීමට වඩාත් සුදුසුයැයි සලකා තෝරාගන්නේ නිතර සිනාමුසු මුහුණින් සිටින, හොඳට අඳින පළඳින, ප්‍රසන්න තරුණ පෙනුමෙන් යුතු, වටිනා වාහනයක් භාවිතා කරන වෛද්‍යවරුන්ව ය.

එමෙන්ම නමට යටින් තිබෙන ඉංග්‍රීසි අකුරු ප්‍රමාණය වැඩිවූ තරමට ඒ වෛද්‍යවරයාට වැඩි හැකියාවක් තිබේ යැයි සලකා එවැනි වෛද්‍යවරුන් ළඟට යන අයද වේ. කෙසේ වුවද ඒ එක් එක්කෙනාගේ කැමැත්ත ය. නමුත් රෝගියෙකු ලෙස ඔබ ඔබේ රෝගයට ප්‍රතිකාර ගැනීමට විශේෂඥ වෛද්‍යවරයකු තෝරා ගන්නේ නම් ඔබ යා යුත්තේ ඔබට නොව, ඔබේ රෝගයට සුදුසු වෛද්‍යවරයා වෙතය. ඒ අනුව ඔබේ රෝගයට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් එය දැන ගත හැකි සුදුසුම පුද්ගලයා වන්නේ සාමාන්‍ය වෛද්‍යවරයායි.

අපගේ රෝගවලට වඩාත් සුදුසු කවර ආකාරයේ වෛද්‍යවරුන් ද යන්න අපි දැන් සොයා බලමු.
සාමාන්‍යයෙන් රජයේ රෝහලක නම් මෙය සිදුවන්නේ පහත දක්වන ආකාරයට වේ. එය ඔබට, ඔබේ රෝගයට සුදුසු ම වෛද්‍යවරයා සොයා ගැනීමට රුකුලක් වනු ඇත.

රජයේ රෝහලක බාහිර රෝගී අංශය වෙත රෝගියා යොමු වූ පසු එම රෝගියාව පරික්ෂා කරන වෛද්‍යවරයා ඉන්පසු සුදුසු අංශය වෙත රෝගියාව යොමු කෙරේ.

හදිසි අනතුරු, කැඩුම් බිඳුම්, වැටීම්, තුවාල, සියලු ගෙඩි වර්ග, ලේ ගැලීම්, පාදවල නහර ගැටගැසීම්, ලිංගාශ්‍රිත රෝග නො වන පිරිමි ලිංගික අවයවවල ආබාධ, අර්ශස් ගෙඩි සහ ඒවායේ ලේ ගැලීම් සඳහා – ශල්‍ය වෛද්‍ය (Consultant surgeon )

ළමා රෝග – ළමා රෝග විශේෂඥ ( Consultant paediatrician )

ළමා සැත්කම් – ළමා ශල්‍ය වෛද්‍ය (Consultant paediatric surgeon)

ප්‍රසව හා කාන්තා රෝග – ප්‍රසව හා නාරිවේද විශේෂඥ ( Consultant gynaecologist )

උගුර කන නාසය සම්බන්ධ රෝග සහ ඊට අදාළ ශල්‍යකර්ම – උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය (Consultant E.N.T. surgeon )

ඇස් සම්බන්ධ රෝග සහ ශල්‍යකර්ම – අක්ෂි ශල්‍ය වෛද්‍ය (Consultant eye surgeon )

මානසික රෝග – මානසික රෝග විශේෂඥ ( Consultant psychiatrist)

ඉහත කී සියලු රෝග සහ පිළිකා හැරුණු විට සෙසු කායික රෝග – කායික රෝග විශේෂඥ (Consultant physician )

තවත් බොහෝ අංශ සඳහා පුහුණුව ලැබූ විශේෂඥ වෛද්‍යවරු සිටිති. නමුත් රෝගීන් හට මේවා දැනගන්නට තිබෙන ක්‍රම අපේ රටේ විරල ය. එනිසා පෞද්ගලික චැනල් සේවාව ඔස්සේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වන ඔබට මෙය ගැටලුවක් වීමට ඉඩ තිබේ. එනිසා එවැනි වෛද්‍යවරුන් පිළිබඳව කෙටි විස්තරයක් මෙලෙස දැක්විය හැකිය.

( මුහුණේ ඇස්, උගුර කන නාසය සහ හිසේ මොළය ආදිය හැර ) මුහුණ මුඛය සහ හනු – දන්ත විශේෂඥ ශල්‍ය වෛද්‍ය ( consultant oro
fatio maxillary surgeon – O.F.M. Surgeon )

සියලුම අස්ථිවල කැඩුම් බිඳුම් සහ බෙල්ලේ කොඳු ඇට පෙළ – විකලාංග ශල්‍ය වෛද්‍ය ( Consultant Orthopaedic surgeon )

දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ඇතුළු සියලු ග්‍රන්ථිවල රෝග – අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ විශේෂඥ (Consultant Endocrinologist )

වකුගඩු දුර්වලතා ඇතුළු ඒ සම්බන්ධ රෝග – වකුගඩු රෝග විශේෂඥ ( Consultant nephrologist )

වකුගඩුවල සැත්කම්, මුත්‍රා කිරීමේ අපහසුතා, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා මාර්ගයේ ගල් ආදිය සඳහා – මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය ( මෙම වෛද්‍යවරුන් වකුගඩු ශල්‍ය වෛද්‍යවරුන් ලෙස ද හඳුන්වයි) (Consultant urologist )

පිළිකා රෝග – පිළිකා රෝග විශේෂඥ (Consultant oncologist )

පිළිකා සැත්කම් – පිළිකා ශල්‍ය වෛද්‍ය (Consultant onco surgeon )

හිසරදය, අපස්මාරය, අංශභාගය, ප්‍රකෘති සිහි කල්පනාව අඩුවීම, අත් පා හිරිවැටීම, අත් පා වලංගු නැති වීම, අත් පා හිර වන ස්වභාවයක් දැනීම ආදී සියලුම ස්නායු රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර – ස්නායු රෝග විශේෂඥ (Consultant Neurologist )

මොළයේ, පිට කොන්දේ, අත් පා ඇතුළු ස්නායුවල ශල්‍යකර්ම සඳහා – ස්නායු ශල්‍ය වෛද්‍ය (Consultant neuro surgeon )

අත් පා ඇතුළු සියලු සන්ධිවල රෝග (ආතරයිටිස්), ඇඟේ පතේ මස්පිඩු වේදනාව – රක්තවේද විශේෂඥ (Consultant Rheumatologist )

පපුවේ මැද වේදනාව, පපුවේ ගැස්ම, හුස්ම ගැනීමේ අපහසුව සහ ක්ලාන්ත වීම – හෘද රෝග විශේෂඥ (Consultant cardiologist )

හෘදය සහ පෙනහළු සම්බන්ධ ශල්‍යකර්ම – හෘද සහ උරස් ශල්‍ය වෛද්‍ය ( මෙම වෛද්‍යවරුන් හෘදය සහ පෙනහළු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන් ලෙස ද හඳුන්වයි) (Consultant
cardiothoracic surgeon)

ආමාශය සහ අන්ත්‍රය සම්බන්ධ රෝග – ආමාශය සහ අන්ත්‍රය පිළිබඳ විශේෂඥ (Consultant gastro-intestinal )

සමේ පිලිස්සුණු කැළැල් ඇතුළු සියලු කැළැල් සහ රූ සපුවේ අඩුපාඩු සැකසීම – ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය (consultant plastic surgeon)

කුඩා ළමයින්ට වැළඳෙන ඉහත කී සියලුම රෝග සහ ශල්‍යකර්ම සඳහා ළමයින්ට වෙන්වූ ළමා රෝග සහ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු සිටිති.
වෛද්‍යවරයකු වෙත යාමේදී ඔබගේත්, වෛද්‍යවරයාගේත් පහසුව පිණිස පහත සඳහන් ආකාරයට කටයුතු කිරීම ඉතාමත් ම සුදුසු ය.

* ඔබට තිබෙන්නේ පපුවේ වේදනාවක් නම් කලින් ඒ සම්බන්ධව ගත් ඊ.සී.ජී. පටි සහ අලුතින් ඊ.සී.ජී. පටියක් රැගෙන යන්නට හැකිනම් ඔබට ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාර ගැනීම පහසු වේ.

* දියවැඩියාව නම් කලින් ගත් රුධිරයේ සීනි පරීක්ෂණ වාර්තා සහ අලුත් වාර්තාවක් රැගෙන යන්න.

* තද උණක් නම් රුධිරයේ F.B.C. පරීක්ෂණයක් කරගෙන එම වාර්තාව සමග වෛද්‍යවරයා වෙත යන්න.

* මුත්‍රා දැවිල්ල නම් මුත්‍රාවල සම්පූර්ණ පරීක්ෂණයක් (U.F.R.) කර වාර්තාව රැගෙන යන්න.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය